Wednesday, February 26, 2014

1. දේශීය සාහිත්‍යය - යුග අනුව
කාව්‍යයෙහි අරමුණු එය කියවා ලබන ආස්වාදය තුළින් රස ජනනය කිරීම බව බොහෝ දෙනෙකුගේ මතකය වේ. ඒ සමගම සිත තුළ ජනිත වන විරහ වේදනාව, ආදරය , ක්‍රෝධය , කරුණාව වැනි භාවයන් සමනය කර ගැනීමේ අරමුණෙන් ද සමාජය තුළ පවත්නා විවිධ අත්දැකීම් හුවා දැක්වීමට ද කවිය උපයෝගී කර ගනු ලැබේ. සකල විධි මානව චින්තනයේ ක්‍රියාකාරීත්වයන් නිරූපණය කිරීමේ ශක්තිය කවියා සතු බවත් උත්තම ගණයේ ප්‍රතිභාපූර්ණ කලාකරුවාට එය මැනවින් ඉටු කළ හැකි බවත් "රිචට් හෝගාට්" මහතා පවසා ඇත. මේ මතය අනුව කවියකුගේ යම් නිර්මාණයක් තුළින් ස්වකීය වූ ද , සමාජමය වූ ද ආධ්‍යාත්මික වූ ද කරුණු හෙළිදරව් වන බව පෙනේ.
සිංහල කවිය ගත් කල විසිවන සියවසේ මැද භාගයේ සිට ජන හදවත අපූර්වත්වයකින් යුතුව නිරූපණය කර දැක්වීමට නිදහස් පද්‍ය රචකයන් සමත් වූ බව පෙනේ. මෙහිදී අප අවධානය මෙතැන් සිට යොමුවනුයේ "කොළඹ යුගයේ කවීන්" වෙතටයි. මුල් කාලීනව කොළඹ යුගයේ කවීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
  • කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවීහු
  • කොළඹ යුගයේ මධ්‍යතන කවීහු
කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවීහු
කොළඹ යුගයේ මධ්‍යතන කවීහු
පියදාස සිරිසේන
සාගර පලන්සූරිය(කේයස් )
ආනන්ද රාජකරුණා
විමලරත්න කුමාරගම
මුනිදාස කුමාරතුංග
උඳුගොඩ නවරත්න
රැපියෙල් තෙන්නකෝන්( රැයිෆියෙල් තෙන්නකෝන් )
පී.බී. අල්විස් පෙරේරා
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
මීමන ප්‍රේමතිලක
ජ.පෙ. වික්‍රමතිලක රාලහාමි
කපිල සෙනෙවිරත්න
බැන්ටිස් රණවීර
උපනන්ද බටුගෙදර
බී.එච්. අමරසේන
ගාල්ලේ ජෝන් රාජදාස
ජී.එච්. පෙරේරා
එච්.එම්. කුඩලිගම
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
පී.කේ.ඩී. සෙනෙවිරත්න
වී.ඩී. ද ලැනරෝල්
විමල් ජේ. අබේසිරි
විමලේන්ද්‍ර වතුරේගම
ඉන්ද්‍රානි කුමාරනායක
ඉහත දැක්වු කවීන් තම නිර්මාණ සඳහා යොදාගත් තේමාවන් අනුව, රචනා විලාසය අනුව, ඉදිරිපත් කර ඇති ආකාරය අනුව වත්මනෙහි කොළඹ යුගයේ කවීන් ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ.
  • කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන් (ජ්‍යෙෂ්ඨ කවීන්/ වැඩිහිටි කවි පරපුර )
  • කොළඹ යුගයේ දෙවන පරපුර(තරුණ කවි පරපුර)
  • කොළඹ යුගයේ "හෙළ හවුල"
  • කොළඹ යුගයේ නූතන පරපුර

කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන්
මේ අතරින් එස් මහින්ද හිමි හා පියදාස සිරිසේන මහතා තම නිර්මාණ සඳහා තේමාව කොට ගත්තේ තම දේශයට, ජාතියට ඇතිකරගත යුතු දැඩි ආදරය, භක්තිය පිළිබඳවයි. ජාතික හැගීම් පුබුදුවාලමින් ජාතිය අවදිකරලීම ඔවුන්ගේ මුලික අභිප්‍රාය වූ බව එම පද්‍ය අධ්‍යයනය කිරීමෙන් අපට මැනවින් පසක් වේ. කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවියෙකු වු ආනන්ද රාජකරුණා කවියා වඩාත් නැඹුරු වූයේ ළමුන් උදෙසා පද්‍ය රචනා කිරිමටයි.කොළඹ යුගයේ පළමු පරපුරේ ජ්‍යෙෂඨ කවියකු වු ජී.එච්. පෙරේරා මහතා වඩාත්ම ප්‍රිය කළේ සමාජයේ ඇති දුර්වල තැන් හාස්‍යයෙන් යුතුව ඉදිරිපත් කිරීමටයි.
  • එස්. මහින්ද හිමි
  • පියදාස සිරිසේන
  • ජී.එච්. පෙරේරා
  • ආනන්ද රාජකරුණා


කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන් - තරුණ කවි පරපුර
කොළඹ යුගයේ දෙවන පරපුර හෙවත් තරුණ කවි පරපුරට අයත් මොවුහු සියලු දෙනාම පාහේ ගමෙන් නගරයට සංක්‍රමනය වුවන් බැවින් ඔවුහු නගරයේ ඝෝෂාකාරී පරිසරයට වඩා තමා උපන් මෙන්ම දුව පැන කෙළිදොළෙන් හැදී වැඩුණු ගම වඩාත් ප්‍රිය කළහ.ස්වභාව සෞන්දර්යට වඩාත් ඇළුම් කළහ. මේ අතර ගැමි සමාජයේ ජීවත්වන ප්‍රබල පුද්ගල චරිත හා විවිධ සංසිද්ධීන් තම පද්‍යයන් වෙනුවෙන් අනුභූතිය කර ගැනීමට විමලරත්න කුමාරගම හා පී.බී.අල්විස් පෙරේරා කවීහූ වෙහෙස ගත්හ. කොළඹ යුගයේ දෙවන පරපුර හෙවත් තරුණ කවි පරපුරට අයත් මීමන ප්‍රේමතිලක, එච්.එම් කුඩලිගම, සාගර පලන්සුරිය ආදි කවින් බටහිර කවීන්ගේ ආභාසය තම නිර්මාණ සඳහා අනුගමනය කළ හෙයින් ඔවුන්ව "රොමැන්ටික් කවීන්" ලෙස නම් කර ඇත.
  • පී.බී.අල්විස් පෙරේරා
  • එච්.ඇම්.කුඩලිගම
  • මීමන ප්‍රේමතිලක
  • සාගර පලන්සූරිය
  • විමලරත්න කුමාරගම
  • ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
  • කපිල ඊ . සෙනෙවිරත්න
  • බී.එච්. අමරසේන
  • උඳුගොඩ නවරත්න


කොළඹ යුගයේ "හෙළ හවුල"
කොළඹ යුගයේ දෙවන පරපුරෙන් පසු ආරම්භ වන හෙළ හවුලේ නිර්මාතෘ හෙවත් ආරම්භකයා වන්නේ, කුමාරතුංග මුනිදාස මහතාය. දෙස, බස,රැස හෙවත් රට, ජාතිය, ආගම යන සංකල්පය සුරැකෙන සේ කවි නිර්මාණ කිරීම ඔවුන්ගේ මුලික අභිප්‍රාය විය. මෙම කවීන්ගේ නිර්මාණ තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය වන්නේ "පණ්ඩිතමානී භාෂා" විලාසයයි. මෙහිලා උදව් කොට ගන්නා දුෂ්කර භාෂාත්මක වදන් අවබෝධ කරගැනීමට අපහසු වීමෙන් පාඨකයාට රස විඳීමට ඇති අවස්ථාවද දුරස් වේ. මේ නිසාම හෙළ හවුලේ නිර්මාණ මේ වන විට ද අභාවයට ගොස් ඇති බව ද, අභාවයට යමින් පවතින බව ද කිව හැක. මෙම කවීහු තම නිර්මාණ වලදී '' කාරය යොදාගෙන තිබීමද සරල බවින් තොරව නිර්මාණය කර තිබීමද සුවිශේෂී ලක්ෂණය වේ.
  • කුමාරතුංග මුනිදාස (මුනිදාස කුමාරතුංග )
  • රැයිපියෙල් තෙන්නකෝන් (රැපියෙල් තෙන්නකො‍්න්)
  • අරිසෙන් අහුබුදු
  • හියුබත් දිසානායක
  • වෙල්ලාල ජයමහ


කොළඹ යුගයේ නිදහස් කවිහූ
නිදහස් කවීන්, නිසඳස් කවීන් ලෙසින්ද හැඳින්වේ. ඡන්දස් වලින් තොරව එනම් එළිසමය හෙවත් එළිවැට නොසලකා විවිධ ආකෘතින් යොදා ගනිමින් නිදහස් ලිවීම මෙම කවීන්ගේ සුවිශේෂී ලක්ෂණයකි. නිදහස් කවින්ගේ පුරෝගාමියා ලෙස හඳුන්වනුයේ ජී.බී.සේනානායක මහතාය. ජී.බී.සේනානායකයන් විසින් නිදහසේ රචිත නිර්මාණයන් නිදහස් කවි හෙවත් නිසඳස් කවි ලෙසින් නම් කර ඇත්තේ සිරී ගුණසිංහයන් විසිනි. නිදහස් කවීන් අතර ද ප්‍රාරම්භක අවධියේ නිදහස් කවීන් ලෙසින් ජී.බී.සේනානායක, සිරි ගුණසිංහ , ගුණදාස අමරසේකර , මහගමසේකර යන කවීහූ අයත් වෙති. නුතන කවීන් අතර ද සඳස් පද්‍යයන්ට වඩා නිසඳස් පද්‍ය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මෙහිදී සමාජ අසාධාරණයන් දෛනිකව තමා අත්විඳින විවිධ අත්දැකීම් හමුවේ ලබන භාවයන් නිදහස් කවියකින් මතුකොට සිතිවිලි සමනය කර ගැනීමට ඇතමුන් පෙළඹී ඇත.
  • ජී.බී. සේනානායක
  • සිරී ගුණසිංහ
  • ගුණදාස අමරසේකර
  • මහගමසේකර
  • මඩවල එස් රත්නායක
  • විමල් දිසානායක
  • මොනිකා රුවන්පතිරණ
  • පරාක්‍රම කොඩිතුවක්කු
කොළඹ යුගයේ ජ්‍යෙෂ්ඨ කවියෝ
පියදාස සිරිසේන මහතා

පියදාස සිරිසේන මහතා 1875 අගොස්තු 31 වන දින දකුණු පළාතේ, ඉඳුරුව ප්‍රදේශයේ අතුරුවැල්ල ගම් පියසෙහි දී උපත ලැබීය. එතුමාගේ පද්‍ය නිර්මාණවල අරමුණ වූයේ රට, ජාතිය, ආගම මුල්කොට ගනිමින් එහි ශ්‍රී විභූතිය මතුකර දැක්වීමයි. ගමෙන් අගනුවරට පැමිණ ධර්මපාලතුමන් වෙතින් බෟතීස්මය ලබා ගෙන කවිය අවිය කොට ගත් එතුමා ජාතික නිදහස් අරගලය මෙහෙයවූවේය.
"
සිතුමිණ" සඟරාවේ ආරම්භකයා වූ පියදාස සිරිසේන මහතා නවකථාකරුවෙකි; ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකි; පුවත්පත් කලාවේදියෙකි; ජාතික ආගමික පුනර්ජීවනය උදෙසා ඉමහත් මෙහෙවරක් ඉටු කළ අයෙකි. එතුමා කවි ඔවදන් හා වෙනත් විෂයන් වෙනුවෙන් ග්‍රන්ථ තිස් හයක් පමණ රචනා කරන ලදී.
පියදාස සිරිසේන කවියා විරචිත කවි කීපයකි .......
   
ගොඩ මඩ කුඹුරු ගොවිතැන් වැනසුව         සත්තේ
   
ගොඩ තොට වැව් අමුණු වල් බිහි කර         ගත්තේ
   
දඩ මුඩ මිසක් රට දියුණක් නැති               විත්තේ
   
හඬමුද මෙනුඹ මැරුණට මැති සබ              මුත්තේ

   
මුදල් ටිකක් දුන් පළියට                ඉලව්වේ
   
සිංහල බවත් නොසිනා ඉඳ             වලව්වේ
   
සියලු ගුණ දහම ඉවතට               එළෙව්වේ
   
මෙකල වුණේ දොස් ඒ             පලහිලව්වේ
ආනන්ද රාජකරුණා කිවිඳු

ආනන්ද රාජකරුණා මහතා 1885 පෙබරවාරී මස 07 වන දින දකුණු පළාතේ, අම්බලන්ගොඩ මාදම්පාගම ප්‍රදේශයේදී උපත ලැබීය. ලංකා ස්වරාජ්‍ය පක්ෂයේ උප සභාපති ධූරයද සිංහල මහා සභාවේ උප සභාපති ධූරයද දැරූ එතුමා සිංහල, පාලි හා ඉංග්‍රීසි භාෂා මැනවින් ප්‍රගුණ කළ ගුරුවරයෙකි; පඩිවරයෙකි; සාහිත්‍යධරයෙකි; හිටිවන කවියෙකි. එතුමාගේ පද්‍ය නිර්මාණවල අරමුණු‍ වූයේ ජාතික හැගුමෙන් ළමා මනස පුබුදු කරලීමත්, වහල් බවින් ශ්‍රී ලංකා මාතාව නිදහස් කරලීමත් සහ ජනතා ප්‍රශ්න මතුකරලීමින් රටට නිදහස ලබාදීමත්ය.
ආනන්ද රාජකරුණා මහතා "ශ්‍රී රූප දේව" ගෞරව නාමයෙන් හා රන් පදක්කම් වලින් පිදුම් ලැබූවෙකි. මෙතුමාට සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ආරම්භයේ සිටම සභාපති ධූරයද හිමි විය. සරල , සුගම බස් වහරක් අනුගමනය කරමින් විවිධ විරිත් අනුව කවි ලියන්නෙක් වූ එතුමා ළමා මනස පුබුදාලන ළදරු ගී අසීමිත සංඛ්‍යාවක් නිර්මාණය කරන ලදී. බටහිර සංකර ගති දෝෂ දර්ෂණයට ලක් කරමින් කවි ලියූ ආනන්ද රාජකරුණා මහතා අධිරාජ්‍ය විරෝධී සටනේ පුරෝගාමියෙකි. එතුමා ජීවිතයේ අගභාගයේදී "ආනන්ද ධම්ම" නමින් පැවිදි බිමට පිවිස 1957 අගෝස්තු 27 වන දින දැයෙන් සමුගත්හ.
ආනන්ද රාජකරුණා කිවිඳු විරචිත කවි කීපයකි .......
   
හෙට සවස මෙහේ ඒවී මිසිස්              වැන්දබෝනා
   
කොට ගවුම ඇඳන් දැන් යයි ෂොපින්         ජොහානා
   
කදිම ජොලි ෆෙලෝ වික්ටර් ලූකැට් මයි         පියානා
   
දොඩන හැටි බලව් අච්චාරු බාසෙන්           අ‍ඳෝනා

   
රෝස මලේ නටුවෙ කටු
   
වන බඹරෝ ඔහොම හිටූ
   
නටුව නොවේ මල සිඹිමී
   
මම ළමයෝ පැණි උරමී ...

   
උඩත් යටත් ගිණි මැද පිටි               පොඩිත්තයි
   
මැදක් නොවෙයි වාටිය ගැන             කැමැත්තයි
   
පෙරත් සිටම සිංහලයගෙ                   අමුත්තයි
   
මටත් එකක් නෙදෙතොත් තද              අයුක්තයි ‍

   
මුනිවර සරණලස සුරඳන ගිරි        සිරසයි
   
පෙළහර පුද පවත්වන සුර බඹ       පිරිසයි
   
සමුදුර අවට සිට එකකින් කරන    ගොසයි
   
තරුබර අහස ඹබ සිංහලයෙක්ද       අසයි

මුනිදාස කුමාරතුංග කිවිඳු

මුනිදාස කුමාරතුංග මහතා 1887 ජූලි 25 වන දින දකුණු පළාතේ, දික්වැල්ල ප්‍රදේශයේදී උපත ලැබීය. ළමා සාහිත්‍යයේ නිර්මාතෘවරයා වන මුනිදාස කුමාරතුංග මහතා "හෙළ හවුල" පිහිටුවාලීමේ පුරෝගාමියා මෙන්ම ලක්මිණි පහන පුවත්පතේ කතුවරයා වේ.
එතුමාගේ පද්‍ය නිර්මාණවල අරමුණු‍ වූයේ හෙළය, හෙළ බස, හෙළ රැස පිළිබඳව ජනයාගේ සිත කවියෙන් අවදි කරලීම සහ දේශානුරාගයෙන් ළමා සිත් අවදිකරලීමත්ය. එතුමාගේ ජනප්‍රිය නිර්මාණ වන්නේ හත්පණ, මඟුල් කෑම, හීන්සැරය, කුමර ගී, කුමාරෝදය, අකුරු සැහැල්ල, පිය සමර, කුමාර පද්‍ය.
මුනිදාස කුමාරතුංග මහතා ගුරුභවතෙකි; පාඨශාලා පරීක්ෂකවරයෙකි; ගුරු අභ්‍යාස විද්‍යාලයීය කථිකාචාර්යවරයෙකි; ග්‍රන්ථ කතුවරයෙකි; භාෂා විශාරදයෙකි; දක්ෂ කවියෙකි. එතුමා 1944 මාර්තු මස 02 වන දින දැයෙන් සමුගත්තේය.
මුනිදාස කුමාරතුංග කිවිඳු විරචිත කවි කීපයකි .......
   
අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොවැ නො නගී
   
හිඟා කැම බැරිවුණු තැන ලගී ගයා මර ගී
   
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නොනැගී
   
මග දද දන ගණ උපදින කලැ පර දෑ අත ගී

   
හෙළ බතට
   
හෙළ වතට
   
පිට රටට
   
යව කුමට

   
ලේනෝ ඔබ පා නිදහස
   
ටිං ටිං ගාමින් මේ ලෙස
   
බුදිමින් හොඳ හො‍ඳ ඵල රස
   
සිටිනු දකින මට වෙයි තොස

   
වලග කුමට ගසේ ගසා
   
කලබල කරනු ද මෙ ලෙසා
   
ඵල කන්නට රිසි විලසා
   
බලය ඔබට දෙමි මෙ දෙසා

   
ජම්බු ගෙඩිය ගෙන දෑතින
   
වටපිට නොබලා මෙලෙසින
   
කන්න කිසිත් බියක් නොගෙන
   
මගෙන් ඔබට දොසක් නොවන

එස් මහින්ද හිමි

එස් මහින්ද හිමි 1901 දී ටිබෙටයේ සීකිම් නගරයේ උපත ලැබූවද වසර දාහතරවන වියේදී "ඥානාතිලෝක " හිමි සමඟ ශ්‍රී ලංකාවට පැමිණ පොල්ගස්දුව ආරණ්‍යයේ පදිංචි වී දොඩම්දූව ශෛල බිම්බාරාමයේදී රත්ගම ශ්‍රී චූල සුමන හිමි වෙතින් පැවිදි බව ලබා ගත්හ. මහින්ද හිමි සිංහල , සංස්කෘත , ඉංග්‍රීසි ,ඉතිහාසය ආදී විෂයයන් පිළිබඳව මනා දැනුමක් ලබා ගත්හ. උන්වහන්සේ කොම්පඤ්ඤවීදියේ සුගතාවාසයේ නායක හිමි ධූරය දැරූ අතර ආනන්ද විද්‍යාලයේ ගුරු භවතෙකි; ජාති හිතෛෂි, ළමා සිත් වලට ' අවිහිංසාවාදය ' යන සංකල්පය ප්‍රබලව කවියෙන් මතු කළ කවියෙකි. උන්වහන්සේගේ කවි නිර්මාණයන්හී අරමුණ වූයේ පරාදීන ජාතියක් වහල්බවෙන් මුදාලමින් ඔවුන් තුළ ජාත්‍යාලය , දේශානුරාගය , දේශාභිමානය ඔද ගැන්වීමත් ළමා සිත්තුළ අවිහිංසාවාදී උතුම් සංකල්ප ජනිත කරලීමත්ය. මහින්ද හිමි 1951 මාර්තු 16 වන දින දැයෙන් සමුගත්හ.
එතුමාගේ සුවිශේෂී නිර්මාණ ග්‍රන්ථ වන්නේ දරු නැළවිල්ල, කවි මුතු, කවි මිණ, ළමා කවි කළඹ, නිදහස් මන්ත්‍රය, නිදහස් මත, නිදහසේ දැහැන, පරාක්‍රමබාහු කුමාර කාලය, රත්නමාලී කාව්‍යය, දහ අට වන්නම, සද්ධර්ම මාර්ගය
එස් මහින්ද හිමි විරචිත කවි කීපයකි .......
   
ගිය ගිය තැනදි ජාතික හෙණ හඩම තලව්
   
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙලව්
   
එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
   
දිය දද දියත නංවනු බැරි මොකද බොලව්

   
හත් වේලකින් එක බතුලක් නෙදැක බැහැ
   
විත් වැඳ වැටෙන මිනිහා දෙස නෙලා ඇහැ
   
උත්සව පවත්වන ජඩයින් තෙපේ දැහැ
   
රත් යහුලකින් ඇද දැමුවත් දොසක් නැහැ

   
ඉන්න තැනක් සොයමින් මෙන මන පිනවා
   
අන්න තවත් සමනලයෙක් පියඹනවා
   
එන්න කිය කියා ඌ මට අමතනවා
   
යන්නද ? හොඳයි එහෙනම් මා නවතිනවා

   
මුනි සිරිපා සිඹිමින්නේ
   
සමනොළ ගිරි පෙදෙසින්නේ
   
මඳ සුළඟයි මේ එන්නේ
   
මගේ පුතා නැළවෙන්නේ
මේ කොලඹ යුගයේ මුල් පලපුර වන අතර 


Monday, February 17, 2014

අරමුණ

අද වන විට විද්්‍යුත් මාධ්‍යය සෑම ආකාරයකටම තම ආධිපත්‍ය පතුරවා හරිමින් සිටින අතර සිංහල භාෂාව ද ඒ සදහා මාධ්‍යය වශයෙන් යොදාගන්නා බවට දක්නට ලැබේ .අධ්‍යයන කටයුතු වෙනුවෙන් ද විද්‍යුත් මාධ්‍යය භාවිතා කිරිමට දරණ කුඩා වැයමක් වන මෙම අඩවිය ඔස්සේ ඔබට මට දැනුම බෙදා හදා ගන්නට හැකි වේවි.

 අපේ අරමුණ ජිවිතය ආදරය හා භෂාව ගොඩ නැගිම වේ.