Saturday, July 11, 2015

නුතන පද්‍යය රසාස්වාද අත්වැල

කතරගම (ගුණදාස අමරසෙකර)

ගුණදාස අමරසේතකරයන්ගේ "උයනක හිඳ ලිවු කවි" නමැතිි කාව්‍ය සන්ග්‍රහයෙන් කතරගම නම් කාව්‍ය සංග්‍රහය උපුටාගෙන ඇත. බුද්ධිමය ජීවිතයත් භාවමය ජීවිතයත් අතර ගට්ටනය නිර්මාණය කිරීමේ අදහසින් ඔහු මෙම පැදිපෙල නිර්මාණය කර ඇත. තර්කානුකූල බුද්ධිය යටපත්ව භක්තිය මත පදනම් වු භාවමය ජීවිත ක්‍රමයන් නැගී එන අයුරු විග්‍රහ කරන කවියා දෙවොලක් තුළ සිදුවන පුදපූජා, භාරහාර වීම්, යාතිකා යන ආදිය තාර්කානුකූලව බුද්ධියට හසු නොවුනද මිනිසා බුද්ධියෙන් එය ප්‍රතික්ෂේප කිරීමට අපොහොසත් බව දක්වයි. මනසත් මසැසත් එකිනෙක අන්ධව පවතින අවස්තාවක් පිලිබඳව ඉන් ඉක්බිතිව සිය අවධාණය යොමු කරයි. නිර්මාණය වන පරිසරයත් සමග බුද්ධිය යටපත්ව ගොස් හැගීම් ස්මතුවන අයුරු කවියා දක්වා ඇති ආකාරය අපුරුය.

නිර්මාණය වු තම පරිසරය හමුවේ බුදධිය යටපත්ව හැගීම් ස්මතු වෙද්දී බුද්ධිමය කුසලතාවයක් වන තර්කය නපුරු අවියක් බවට රූපකාර්ථවත්ව පවසයි. යටපත්වු බුද්ධිය ඉවතලු පඬරැල්ලක් බව පවසයි.යටපත්වු බුද්ධිය අන්ධ බවට මග පෙන්වන දුබල කෙනෙක් බව පවසයි. දෙවාලයක සිදුවන විවිධ ක්‍රියාකාරකම් හා යාතිකාදිය මගින් සන්කල්ප රූප උප්පාදනය කරන කවියා එකම කාව‍්‍යෝක්ති නැවත නැවත යෙදීමෙන් ලබාගන්නා ප්‍රභාව තුළින් ගැඹුරු සංකල්පයක් විචිත්‍රවත් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට උත්සහ කරයි.

මිනිස් ජීිතයේ දී මෙන්ම භවමය පක්ෂයද සමබරව පැවතිය යුතු බවත් බාහිර සාදක මත මෙම දෙයංශයේම ක්‍රියාකාරීත්වය විපර්යාසයන්ට ලක්වන බවත් මෙම පද්‍යයේ ජීවන දෘෂ්ටිය ලෙස උකහා දක්වයි.
හේරත් හාමි (රසාස්වාදය) - විමලරත්න කුමාරග

 සමාජය විසින් අසම්මත පහත් යැයි සැලකෙන රැකියා දවසක නියලෙන පුද්ගලයකුගේ ජීවිතය හා බැදුණු උත්තරීතර මිනිස් ගුණ ඇදහීම මෙම පැදි පෙළට පාදක වී ඇත. ඔහු කරත රැකියාව සමාජ සම්මතයට අනුව පහත් බව අභිබවා ඔහුතුල සැගවුනු උසස් මානව ගුණ කවියා මෙයින් ස්මතුකර දක්වන්නේ සමාජ සම්මතය මගින් උසස් යැයි කියන එහෙත් පහත් මිනිසුන්ට සිවුම් උපහාසාත්මක විලාසයෙනි. මෙනි දුබලතා ඇති සමාජය උපහාසයට ලක් කිරීමට පමන් කතුවරයාගේ පරමාර්ථය නොවුනද හේරත් හාමිගේ ජීවන වෘතියත් ඔහුගේ ගුණයහපත් බවත් සමාජයේ බොහෝ අය සමග සැසදීමෙන් ඒ බව පැහැදිලි වේ. පැදි පෙළ අරම්බයේ කවියා මෙසේ දක්වයි.
අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                          මි
මිනී කපන මුත් ඒ හේරත් හා                             මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි
යන්නෙන් කවියා උක්ත අදහස වඩා තිවුර කරයි. කවියා මිනිසෙකි හේරත්හාමිද මිනිසෙකි ඔවුන් දෙදෙනාම මිනිසුන් වුවත් සමාජයේ වැදගත් පුද්ගලයා විදියට වැජඹෙන්නේ කවියාය. හේරත්හාමි සමාජය ඉදිරියේ පහත් මිනිසෙකි. සමාජය එසේ වුවත් ජිවනන යථාර්ථය යථාර්ථවාදිව දකින කවියා හේරත්හාමිගේ උසස් ගුණ හදුනා ගනි.හේරත් හාමි රැකියාව ලෙස මිණි කැපුවද තමාට වඩා විසි තිස් ගුනයකින්දැහැමි මිනිසෙකු ලෙස සැලකෙන්නේ එම නිසාය.
ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                       වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ
ඇතමෙකු අප්ප්‍රසිද්දියේ ජිවත් වුවද උසස් මානව දහම් ඔවුන්ගේ ජිවිත සමග බැඳි පවති. හේරත් හාමි සුළු මාස්පඩි කරුවෙකි. කම්කරු පඩිය පරදා ඉහල වැටුප් ඉල්ලා හඩ නොනගන ඔහු තුල ජීවත් වන්නේ මිනිසත් කම හරිහම්බ කරන දුර්වල මිනිසෙකි .
ජිවිත කාලය පුරාම ප්‍රාණය නිරුද්ධවු (පණනැති) මළ කදන් සමග ජිවත් වුවත් ඔහුගේ රූපය සිත්ගන්නාසුළුය. හැඩි දැඩි දේහ විලාසය කඩවසම් රූපකාය ඉලන්දාරිවිය ඔහුගේ දිවියේ අගය වැඩි කරයි.
ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                         රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                     රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                        රිය
පුහුදුන් මානවයාට පුහුදුන් ගතිලක්ෂණ සියල්ලම සපුරා නසාලිය නොහැකිය. එහෙත් ඔහුට එය අවම කර ගැනිමේ හැකියාව ඇත. අනුන්ගේම නොව තමන්ගේම මලමූත්‍රා ඇදීමට කෙනෙකු හැකිලෙන්නේ එම පුහුදුන් ගතිලක්ෂණ නිසාය .
තව කෙනෙකුට කල නොහැකි එම රජකාරිය ගෞරවයෙන් කිරිමෙන් පෘතුල සමාජයේ සුවිශේෂී මිනිසෙකු ලෙස ඔහු ගෞරවයට පාත්‍රවිය යුතුය.
උදා :- මට මහ පුදුමයකි ඔහු මේ කරන කාර්ය
සමාජයේ බොහෝ මිනිසුන් මෙන් එය විෂ්මය දනවන කාර්යක්සේ දකි. මලමුත්‍රා ඇදිම, මිනී කැපීම රැකියාව වුවත් ඔහු මිනිසෙකු හැටියට ශ්‍රෙෂ්ඨයෙකි.
මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                      දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                  දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු                   ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක           ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො                 ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ                  ලේ

ගොවි,කම්කරු,රදළ කුලේ කිසිවෙකු විසින් මෙම කාර්ය සිදු නොවුනි . ඔවුන් සතුන් මැරුවත් ඔහු පන ඇති සකතකු නොමැරුවේය. ඔහු එයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහුගේ රැකියාව පහත් යැයි සම්මත වුවද උසස් ලෙස පහත් වැඩ කරන මිනිසුන්ට වඩා ඔහු උසස් මානව ගතිවලින් හෙබි බවයි. කෙනෙකුට පිලිකුල් වුවත් බියජනක වුවත් ඔහුගේ අමිහිරියාව ඔහුගේ පෞද්ගලික ජිවිතය හා සම්බන්ධ නොකර ගනි. ඔහු අසාමානිය කෙනෙකු මෙන් පෙනුනත් ඔහු සාමාන්‍ය මිනිසෙකි.

අවනත සිනා රැලි වත නිතරම පතු                    රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                       රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

හේරත්හාමිගේ එකම නෑයා නැගණියි.ඔහු ජිවත්ව සිටියදීම ඇයටද මරණය හිමිවේ. උනුන් අතර අධි සංවේගි සහෝදර ප්‍රේමයක් පැවතුණි. ජිවත්ව සිටියදි උනුන්කඳුළු සැලුවේ එම නිසාය. එහෙත් නැගණිය මරණයට පත්වුවිට කදුලු නොසලාවි ඒ තරමටඔහුට මරණය පිලිබද අවබෝධයක් තබී ඇත.

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                    නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ            නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි                 නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ               නේ

කවර පැලැන්තියක කෙනෙකු වුවද මැරුණු පසු ඔහුට තවත් මළකුණක් පමණි. ඔහුට තම නැගනියගේ මළකදද එසේමය . ගැමි සබ්භියත්වයක එක්කුස උපන් නැගනිගේ මළකඳ කැපු හෙයින් සමාජය විසින් නානාවිධ අක්‍රෝධ පරිභව කළද ලොව ඇති මිහිරි මංශයන්ගෙන්(ලේ,මස්) ඔහුට ඵලක් නැත.

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි               සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ            සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

මුලු දිවිය පුරා මලමූත්‍රා සමග දිවි ගෙවුවද ඔහුගේ ඇතුළත පිරිසිදුය. කුණු කයට සැප දෙමින් ජීවත්වන මිනිසුන් හේරත්හාමිගේ ජීවන පටිපදාව ඉදිරියේ උපහාසයට ලක් වේ. රිහිරි මස වඩන්නට වෙර දරණ මිනිසුන් ඇසුරු කළද ඔහු ඒ පිටුපස හබා ගිිය මිනිසකු නොවේ. දිරිය ජීවත් කරවීමට වෙර දැරු මිනිසෙකි. වෘතියට කුමක් වුවත් ඔහු ආගමක නැඹුරුතාවක්ද ඇති පුද්ගලයෙකි.බුදුන් කෙරෙහි මෙන්ම දෙවියන් කෙරෙහිද දැඩිි බක්තියක් ඇත්තේ එ් බැවිණි.

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                    යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                     යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

කවියා තම අනුභූතීය නිර්මාණාත්මකව දිග හැරීමට දැරු ප්‍රයත්ඤය සාර්ථකය.වෙසින්ම හේරත් හාමි ගැන අනුකම්පාව කරුණාව රසයයට බදුන්කරමින් පාඨකයා කැරුණා රසයේ ගිල්වන්නට දරන චතුරාර්‍යය අගය කළ යුතුය.‍
පාඨකයා වෙහෙසට පත් කරන බසක් වෙනුවට සරල බසක්යොදමින් පඨක රසතඤතාව අගය කළ යුතුත්තකි. සිවුපද අකෘතියෙන් නිමවා ඇති මෙය විමලරන්නයන්ගේ සාර්ථක නිමැවුමකි.
ජාතික තොටිල්ලපිළිබද රසාස්වාදය

                                                              ජාතික තොටිල්ලපිළිබද රසාස්වාදය 
                                             කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවීන්ගේ කවීත්වය විමසා බැලීමේදී දක්නට ලැබෙන සුවිශේෂිතාවය නම් එදා අඩිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයට හා බටහිර සංස්කෘතියට එරෙහිව පරාදීන ජාතියක් තුළ දේශානුරාගය දැනවීමට ඔවුන්ගේ නිර්මාණ යොමු වී තිබීමයි. මෙහිදී ඇස්.මහින්ද හිමියන් අයත් වන්නේද මෙම කොළඹ යුගයේ මුල් පරපුරටයි. ඇස්.මහින්ද හිමියන් වූ කලී අප රට පරාධීනව සිටි අවදියේදී කවිය අවිය කොටගෙන නිදහස් සටනට අනුප්‍රාණය දුන් හිමි නමකි.
                                          “ජාතික තොටිල්ලහෙවත් දරු නැලවිල්ල නිර්මාණයේදී අප කතුවර හිමියන් අරමුණ ලෙස යොදා ගෙන ඇත්තේ දේශයේ විමුක්තිය වෙනුවෙන් වත්මන් ළමා හා තරුණ පරපුර කැපවිය යුතු බවයි.එසේම වස්තු විෂය ලෙස යොදාගෙන ඇත්තේ ළදරු වියේ සිටම ලාංකිකයන් තුළ ස්වකීය දේශය ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමයි. එසේම මෙම කාව්‍ය පන්තිය සිව්පද ආකෘතියට රචනා වී ඇති බව දැක ගත හැක.
                         මෙහි යොදා ගෙන ඇති භාෂාව ඉතාමත් සරල වු බස් වහරකි.එසේ හෙයින් මෙම පද්‍ය පන්තිය දරුවන්ට සේම වැඩිහිටියන්ට ද  එක සේ රස විඳිය හැක.
                                                          “ මුනි සිරිපා සිඹිමින්                    නේ
                                                            සමනොළ ගිරි පෙදෙසින්              නේ
                                                            මඳ සුළගයි මේ එන්                   නේ
                                                            මගේ පුතා නිදියෙන්                   නේ
                        මෙසේ සරල පද වැල් කිහිපයකින් හරවත් අරුතක් දරුවෙකුට ක්‍ෂනිකව වැටහෙන අයුරින් කියා පෑමට අප කතුවර හිමියන් බස හසුරුවා ඇති ආකාරය අපූරුය. සරල පද වැල් යොදා ගැනීම තුළින් කුඩා දරුවෙකුට කුඩා කල සිටම දේශීයත්වය,ජාතික අභිමානය ඉගැන්වීමට මෙම පද්‍ය පන්තිය මහත් රුකුලක් වන බැව් නොඅනුමානය.
                                                දරු නැළවිල්ල පද්‍ය පන්තිය නිර්මාණයේ දී ඇස්.මහින්ද හිමියන් රූපක යොදා ගැනීම තුළින් එහි අර්ථාන්විත බව වැඩි කර ඇත. එසේම එය පැදි පෙළට අලංකාරත්වයක් ගෙන දෙයි.
                                                         “ නිදහස මහ මුහුදක්                       වේ
                                                            එහි උල්පත පුත නුඹ                    වේ
                                                            ඒ බව සිහි කොට මෙලො               වේ
                                                            යුතු කම ඉටු කළ යුතු                   වේ
            අප කතුවර හිමියන්ගේ නිර්මාණය හුදු දරු නැළවිල්ලක සුලකුණු ඉක්මවා යන්නකි.එසේ වුවද සම්ප්‍රදායික දරු නැළවිලි ගී වලට පාදක වී ඇති සුගායනීය බව හා නැළවිලි ගියක අන්තර්ගත විය යුතු සකලාංග යන්ගෙන්ම පරිපූර්ණ වූ රසවත් නිර්මාණයකි. මෙම පැදි පෙළ තුළ රූපක යොදා ගැනීමේදී ,නිදහස නැමැති මහ මුහුදේ උල්පත නුබයි යැයි පවසමින් හරවත් උපදේශයක් ලබා දීමට අප හිමියන් කටයුතු කර ඇත.
                                                            කාව්‍ය පන්තිය රසවිඳින්නා තුළ සංකල්ප රූප ජනිත වන අයුරින් කාව්‍යකරණයෙහි යෙදීමට ඇස්.මහින්ද හිමියන් සමත්ව ඇත.
                                                         “ තවුසෙකු සේ ඇඳ පැල                  ඳා
                                                            පඬුවස් දෙව් මහා නිරි                   ඳා
                                                            මාකඳුරින් ගොඩ බට                    දා
                                                            මඟුලක් වී රට මුළු                      දා
                                                අතීත කතා පුවත් ගෙන හැර දැක්වීම තුලින් හෙළ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයන් නැවත ආවර්ජනය කරලීමට මහින්ද හිමියන් කටයුතු කර ඇත. එසේම එම කතා පුවත් රසවිඳින්නා ගේ මනස තුල මනාව සනිටුහන් කිරීමට සංකල්ප රූප භාවිතා කර ඇත. තවුසෙකු සේ  ඇඳ පැළඳා  පඬුවස් දෙව් මහා නිරි ඳා යනු එම සංකල්ප රූපයයි.
                                    ඇස්.මහින්ද හිමියන් කාව්‍යකරණයේ නිරත වීමේදී අර්ථ රසය හා ශබ්ද රසය මුසු කරමින් දරු නැළවිල්ල පැදි පෙළ අපූර්ව ලෙස නිර්මාණය කර ඇත.
                                                          “ ජාතික රණ දෙරණ ම                 තේ
                                                            ගැටී වැටී මළ මොහො                තේ  
                                                            සුන්දර සුරඹුන්ගේ අ                   තේ
                                                            නැළවෙන බව සිතනු පු               තේ
                                    මෙහිදී උද්වේගජනක  පද්‍ය නිර්මාණයේ යෙදුණු මහින්ද හිමියන් ශබ්ද රසය ඊට මනාව ඉවහල් කර ගනිමින් අර්ථ රසය දැනවිමට ද කටයුතු කර ඇත. කෙසේ නමුත් ඇතැම් තැන් හි සංයමයෙන් ගිලිහුණු තැන්ද පවතින බව නොරහසකි. එසේම ඉහත දැක්වූ උදාහරණය තුල පවතීන අර්ථ රසය නම් රට වෙනුවෙන් සටන් කර මරණයට පත් වුවත් ඒ කලා වු පිනෙන් දිව්‍ය ලෝකයෙහි  උපදින බවයි. මෙසේ අර්ථ රසය හා ශබ්ද රසය මුසු කරමින් කාව්‍යකරණයෙහි ඇති තම ප්‍රතිභාව පෙන්විමට ඇස්.මහින්ද හිමියන් සමත් වී ඇත.
                        දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල පැදි පෙළ තුලින් දේශීයත්වය හා ජාතික අභිමානය යළි අවදි කිරීමටත් ළමා මනස තුළ රට,ජාතිය,ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමටත් ඇස්.මහින්ද හිමියන් ගෙන ඇති උත්සාහය සාර්ථකය.එසේම අභීත සිංහලයෙකු වීමට ගත යුතු මග පහදා දීමට තරම් මෙම නිර්මාණය පොහොසත්ය.



Monday, January 26, 2015

හෙළ සාහිත්‍යය

බුදු දහමින් පෝෂණය වූ හෙළ සාහිත්‍යය

මහින්දාගමනයේ දායාදයක්‌ වශයෙන් සිංහල සාහිත්‍ය හැඳින්විය හැකිය. සිංහල සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය දෙකක්‌ නොව එකක්‌මය. මේ දෙක එකින් එක වෙන් කිරීම ඉතා අපහසුය.

මහින්දාගමනයෙන් පසු ගමේ පන්සල අධ්‍යාපන මධ්‍යස්‌ථානය බවට පත්විය. පැරණි අධ්‍යාපනය හා සාහිත්‍ය පෝෂණය වී ඇත්තේ පන්සල හා භික්‍ෂූන් වහන්සේලා මුල්කරගෙනය. සිංහල සාහිත්‍යයේ ඉතිහාසය දෙස බලනවිට පෙනී යන දෙයක්‌ නම් පන්සල ආශ්‍රය කරගෙන උගත් ප්‍රභූ පිරිසක්‌ අනුරාධපුර යුගයේ සිට පහළ වූ බවයි.

පැරණි පොතපත පිළිබඳ විමර්ශනය කරන විට පෙනී යන්නේ සිංහල සාහිත්‍යයට තේමා වූයේ බෝසත් කවි ඇතුළු බුද්ධ ධර්මය බව පෙනේ. මහින්දාගමනයෙන් පසුව බිහිවූ මුල්ම සිංහල සාහිත්‍යය කෘති අයත් වන්නේ "හෙළ අටුවා සාහිත්‍යයටය. හෙළ අටුවා සාහිත්‍යය හා සම්බන්ධ වන්නේ බුදුන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මයයි. ලංකාවට බුදු සමය රැගෙන ඒමෙන් පසුව මහා විහාරවාසී භික්‍ෂුන් වහන්සේලා විසින් ත්‍රිපිටක ග්‍රන්ථවලට සිංහලයෙන් ලියන ලද අටුවා ග්‍රන්ථ හෙළ අටුවා සාහිත්‍යයට ඇතුළත් වේ. හෙළ අටුවා සාහිත්‍ය ගොඩනැඟීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ අනුරාධපුර මහා විහාරවාසී උගත් ධර්මධර විනයධර භික්‍ෂූන් වහන්සේලාටය. හෙළ අටුවා සාහිත්‍යයට ඇතුළත් මූලික ග්‍රන්ථ අතර මහ අටුවාව, මහා පරිච්චරි අටුවාව, කුරුන්දි අටුවාව, අන්ධක අටුවාව, සංෙ€ප අටුවාව, යනාදිය හැඳින්විය හැකිය.

හෙළ අටුවා ග්‍රන්ථවලට පසුව වැදගත් ඓතිහාසික ග්‍රන්ථ වන්නේ දීපවංශය, මහාවංශය, යන වංශ කතා දෙකය. මේවායින් කියවෙන්නේ මූලික වශයෙන් ඓතිහාසික ප්‍රවෘත්තින්ය. ඒවා රචනා කරනු ලැබුවේ පාලි භාෂාවෙනි. මේ මගින් සිංහල මුතුන්මිත්තන්ගේ වගතුග වීරක්‍රියා, ආගමික සංස්‌කෘතික හා සාහිත්‍ය සේවාව පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

HISTORY OF SRILANKA HELA ATUWA


අනුරාධපුර යුගයේදී පැවැති අපේ භාෂාව සිංහල ප්‍රාකෘතය නමින් හැඳින්වේ. එම සිංහල ප්‍රාකෘතය පෝෂණය වූයේද බුදු දහමේ ආභාෂයෙනි. මේ නිසා සිංහල භාෂාවේ පෝෂණයට බුදු සමයත්, බුදු සමයේ පෝෂණයට සහ සිංහල සාහිත්‍යයේ පෝෂණයට ප්‍රාකෘත සිංහල භාෂාවත් සම්බන්ධ විය. ඒ මගින් භාෂාවේ මෙන්ම සාහිත්‍යයේ ද පෝෂණය ඇති විය.

අපේ පැරැණි සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරුලිපි, ආදිය ලියවුණේ ද ප්‍රාකෘත සිංහලයෙනි. ඒවාද අපේ පැරැණි සාහිත්‍ය කෘති ලෙස හැඳින්විය හැකිය. එම සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරු ලිපි ආදියෙන් ඇරැඹුන සිංහල සාහිත්‍යයේ නැගීමක්‌ අනුරාධපුර යුගයේදීම දැකගත හැකිය. එමෙන්ම සිංහල භාෂාවේ ද දියුණුවක්‌ මේ යුගයේ පැවැති බව පාලි භාෂාවෙන් ලියෑවී තිබූ බුද්ධ ධර්මය සිංහල භාෂාවෙන් දේශනා කිරීමෙන් පැහැදිලි වේ.

බුදු සමය ලංකාවේ ස්‌ථාපිත වූවායින් පසුව අනුරාධපුර යුගයේදී රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයක්‌ අදටත් දැකගත හැක. සිඛ වළඳ හා සිඛ වළඳ විනිස, හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස, සියබස්‌ලකර, දම්පියා අටුවා ගැටපදය, කේශධාතු වංශය, එළු දළදා වංශය, හෙළ සූත්‍ර එයින් කිහිපයකි.

අනුරපුර මුල් යුගයේ රචනා කරන ලද ග්‍රන්ථ නටබුන් වී ඇතත් එකල සිටි කවියන් පිළිබඳව ද සඳහන්වේ. සක්‌දාමල, අසක්‌දාමල, දැමිය, බෑබිරිය, දළ බිසෝය, අනුරුද්ධ කුමාරය, දළගොත් කුමාරය, දළසලකුමාරය, කිත්සිරි කුමාරය, පුරවඩු කුමාරය, සූරියබාහුය, කසුප්තොට ඈපාය, යන මේ දොළොස්‌ මහා කවියන් ගැන සඳහන් වීමෙන් මේ යුගයේ සිංහල සාහිත්‍යයේ සුවිශේෂ වර්ධනයක්‌ තිබුණ බව කිව හැකිය.

අනුරාධපුර යුගයේ මැද භාගයට පමණ අයත්වන සීගිරි ගී දෙස බැලීමේදී ද පැහැදිලි වන එක්‌ කරුණක්‌ ඇත. මේ යුගයේ ගී සාහිත්‍යයේ හා සිව්පද සාහිත්‍යයේ සුවිශේෂී නිර්මාණකරුවන් සිටි බවය. එකල භාෂාවේ ස්‌වරූපය සීගිරි ගී වලින් ප්‍රකට වේ.

"නිල් කට්‌රොල් මලෙකැ

ඇවුණු වැටි කොල්මල් සෙයි

සැන් දැග සිහි වන්නෙයි

මහ නෙල් මල් අතිනි ගත්

මෙම ගී ලියා ඇත්තේ සීගිරි අප්සරාවන් ගැනය. එයින් එක්‌ කවියෙකුට සීගිරි අප්සරාවන් පෙනුනේ නිල් කටරොලු මලක අමුණන ලද වැටකොලුමලක්‌ සේය. මහනෙල් මල් අතින්ගත් ඇය සැන්දැවේ සිහිවන බව ඔහු කියයි.

තවත් කවියකුට සීගිරි අප්සරාවන් පෙනෙන්නේ වඩා වින්දනාත්මක අංශයෙනි. ඔහුට සීගිරි අප්සරාවන්ගේ දත් පෙනෙන්නේ පලන ලද කොමඩු ගෙඩියක ඇට සේය. කොමඩු ගෙඩියක වැගිරෙන්නේ පැණිය. එය ඔහුට සීගිරි ලලනාවන්ගේ මිහිරි වදන් ලෙස පෙනෙයි. ඇයගේ දිගු ඇස්‌ පෙනෙන්නේ කොමඩු පෙත්තක්‌ සේය. ඇයගේ එම මනහර දැක්‌මෙන් සිත් මුසපත් නොවන්නේද? යන්න ඔහුගේ වින්දනාත්මක අදහසයි.

මෙයින් පැහැදිලි වන්නේ අනුරපුර යුගයේ සිංහල සාහිත්‍යයේ තවත් ප්‍රබෝධාත්මක කාලපරිච්ඡේදයකි, පොළොන්නරු යුගය, මේ යුගයේ ලියෑවුණු ග්‍රන්ථ රචනා කොට ඇත්තේ බෝසත් සිරිත හා බුදුගුණය තේමා කරගෙනය. මුව දෙව්දාවත, සසදාවත, යන ග්‍රන්ථ ගී කාව්‍ය අංශයට ඇතුළත් වේ. ඒ අනුව ගී කාව්‍ය අංශයේ දියුණුවක්‌ ද තිබී ඇත.

මෙකල සිටි ප්‍රකට පඬිවරයෙකි ගුරුළුගෝමී ආචාර්යවරයා. බුදුගුණ වර්ණනා කරමින් ග්‍රන්ථ රචනා කොට ඇත. සිංහල සාහිත්‍යයේ එන අසම සම ප්‍රේම කථාව අන්තර්ගත වන්නේ ධර්ම ප්‍රදීපිකාවේය. එම කතාවෙන් සිංහල භාෂාවේ මෙන්ම සිංහල සාහිත්‍යයේද සංවර්ධනාත්මක අවස්‌ථාව හා රස වින්දනය ද කාව්‍ය රචනා ස්‌වභාවයද මනාව ප්‍රකට වේ.

ජානකී හරණ සන්නය, කාව්‍යාදර්ශ සන්නය, මේඝදූත සන්නය යන ග්‍රන්ථද පොළොන්නරු යුගයේ රචිතය.

දඹදෙණි සාහිත්‍ය යුගයද බුදුසමය පදනම් කර ගනිමින් සිංහල සාහිත්‍යයේ නැඟීමක්‌ සිදුවූ ආකාරය පැහැදිලිවේ. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, කව්සිළුමිණ, සිදත් සඟරාව, දඹදෙනි කතිකාවත, යන මේ ග්‍රන්ථ රචනා කළ අග්‍රගණ්‍ය පඬිවරු දඹදෙණි යුගයේ ප්‍රකට වෙති.

දඹදෙණි යුගයෙන් පසු කුරුණෑගල යුගයේදී සිංහල බෞද්ධ සාහිත්‍යයේ එන විශාලතම ග්‍රන්ථය වන පන්සිය පනස්‌ ජාතික පොත ලියෑවිණි. මෙයට තේමා වූයේ බෝධිසත්ව චරිත කතාවන්ය. මෙය මිනිස්‌ ජීවිත විවරණය කරන මහා සාහිත්‍ය ග්‍රන්ථයක්‌ විය. එයට අමතරව සිංහල බෝධිවංශය උම්මග්ග ජාතික පොත, දළදා පූජාවලිය, අනාගත වංශය, දළදා සිරිත, දඹදෙණි අස්‌න, ථුපවංශය, ආදී ග්‍රන්ථ ද මේ යුගයේදී රචනා කර ඇත.

මේ අනුව බලනවිට අනුරාධපුර යුගයේ සිට කුරුණෑගල යුගය දක්‌වා සිංහල බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂ දියුණුවක්‌ නැගීමක්‌, ප්‍රබෝධයක්‌ දක්‌නට ඇත. මේ සෑම ග්‍රන්ථයක්‌ම රචනා කර ඇත්තේ බුදු දහමේ ආභාෂය ලබමින්ය. සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ තුළින් එකල ග්‍රන්ථ කතුවරු බලාපොරොත්තු වූයේ බුදු දහම පදනම් කරගෙන සාරධර්ම පිරි සමාජයක්‌ ගොඩනැඟීම බව ඉතා පැහැදිලය.