Monday, January 26, 2015

හෙළ සාහිත්‍යය

බුදු දහමින් පෝෂණය වූ හෙළ සාහිත්‍යය

මහින්දාගමනයේ දායාදයක්‌ වශයෙන් සිංහල සාහිත්‍ය හැඳින්විය හැකිය. සිංහල සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය දෙකක්‌ නොව එකක්‌මය. මේ දෙක එකින් එක වෙන් කිරීම ඉතා අපහසුය.

මහින්දාගමනයෙන් පසු ගමේ පන්සල අධ්‍යාපන මධ්‍යස්‌ථානය බවට පත්විය. පැරණි අධ්‍යාපනය හා සාහිත්‍ය පෝෂණය වී ඇත්තේ පන්සල හා භික්‍ෂූන් වහන්සේලා මුල්කරගෙනය. සිංහල සාහිත්‍යයේ ඉතිහාසය දෙස බලනවිට පෙනී යන දෙයක්‌ නම් පන්සල ආශ්‍රය කරගෙන උගත් ප්‍රභූ පිරිසක්‌ අනුරාධපුර යුගයේ සිට පහළ වූ බවයි.

පැරණි පොතපත පිළිබඳ විමර්ශනය කරන විට පෙනී යන්නේ සිංහල සාහිත්‍යයට තේමා වූයේ බෝසත් කවි ඇතුළු බුද්ධ ධර්මය බව පෙනේ. මහින්දාගමනයෙන් පසුව බිහිවූ මුල්ම සිංහල සාහිත්‍යය කෘති අයත් වන්නේ "හෙළ අටුවා සාහිත්‍යයටය. හෙළ අටුවා සාහිත්‍යය හා සම්බන්ධ වන්නේ බුදුන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මයයි. ලංකාවට බුදු සමය රැගෙන ඒමෙන් පසුව මහා විහාරවාසී භික්‍ෂුන් වහන්සේලා විසින් ත්‍රිපිටක ග්‍රන්ථවලට සිංහලයෙන් ලියන ලද අටුවා ග්‍රන්ථ හෙළ අටුවා සාහිත්‍යයට ඇතුළත් වේ. හෙළ අටුවා සාහිත්‍ය ගොඩනැඟීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ අනුරාධපුර මහා විහාරවාසී උගත් ධර්මධර විනයධර භික්‍ෂූන් වහන්සේලාටය. හෙළ අටුවා සාහිත්‍යයට ඇතුළත් මූලික ග්‍රන්ථ අතර මහ අටුවාව, මහා පරිච්චරි අටුවාව, කුරුන්දි අටුවාව, අන්ධක අටුවාව, සංෙ€ප අටුවාව, යනාදිය හැඳින්විය හැකිය.

හෙළ අටුවා ග්‍රන්ථවලට පසුව වැදගත් ඓතිහාසික ග්‍රන්ථ වන්නේ දීපවංශය, මහාවංශය, යන වංශ කතා දෙකය. මේවායින් කියවෙන්නේ මූලික වශයෙන් ඓතිහාසික ප්‍රවෘත්තින්ය. ඒවා රචනා කරනු ලැබුවේ පාලි භාෂාවෙනි. මේ මගින් සිංහල මුතුන්මිත්තන්ගේ වගතුග වීරක්‍රියා, ආගමික සංස්‌කෘතික හා සාහිත්‍ය සේවාව පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

HISTORY OF SRILANKA HELA ATUWA


අනුරාධපුර යුගයේදී පැවැති අපේ භාෂාව සිංහල ප්‍රාකෘතය නමින් හැඳින්වේ. එම සිංහල ප්‍රාකෘතය පෝෂණය වූයේද බුදු දහමේ ආභාෂයෙනි. මේ නිසා සිංහල භාෂාවේ පෝෂණයට බුදු සමයත්, බුදු සමයේ පෝෂණයට සහ සිංහල සාහිත්‍යයේ පෝෂණයට ප්‍රාකෘත සිංහල භාෂාවත් සම්බන්ධ විය. ඒ මගින් භාෂාවේ මෙන්ම සාහිත්‍යයේ ද පෝෂණය ඇති විය.

අපේ පැරැණි සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරුලිපි, ආදිය ලියවුණේ ද ප්‍රාකෘත සිංහලයෙනි. ඒවාද අපේ පැරැණි සාහිත්‍ය කෘති ලෙස හැඳින්විය හැකිය. එම සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරු ලිපි ආදියෙන් ඇරැඹුන සිංහල සාහිත්‍යයේ නැගීමක්‌ අනුරාධපුර යුගයේදීම දැකගත හැකිය. එමෙන්ම සිංහල භාෂාවේ ද දියුණුවක්‌ මේ යුගයේ පැවැති බව පාලි භාෂාවෙන් ලියෑවී තිබූ බුද්ධ ධර්මය සිංහල භාෂාවෙන් දේශනා කිරීමෙන් පැහැදිලි වේ.

බුදු සමය ලංකාවේ ස්‌ථාපිත වූවායින් පසුව අනුරාධපුර යුගයේදී රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයක්‌ අදටත් දැකගත හැක. සිඛ වළඳ හා සිඛ වළඳ විනිස, හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස, සියබස්‌ලකර, දම්පියා අටුවා ගැටපදය, කේශධාතු වංශය, එළු දළදා වංශය, හෙළ සූත්‍ර එයින් කිහිපයකි.

අනුරපුර මුල් යුගයේ රචනා කරන ලද ග්‍රන්ථ නටබුන් වී ඇතත් එකල සිටි කවියන් පිළිබඳව ද සඳහන්වේ. සක්‌දාමල, අසක්‌දාමල, දැමිය, බෑබිරිය, දළ බිසෝය, අනුරුද්ධ කුමාරය, දළගොත් කුමාරය, දළසලකුමාරය, කිත්සිරි කුමාරය, පුරවඩු කුමාරය, සූරියබාහුය, කසුප්තොට ඈපාය, යන මේ දොළොස්‌ මහා කවියන් ගැන සඳහන් වීමෙන් මේ යුගයේ සිංහල සාහිත්‍යයේ සුවිශේෂ වර්ධනයක්‌ තිබුණ බව කිව හැකිය.

අනුරාධපුර යුගයේ මැද භාගයට පමණ අයත්වන සීගිරි ගී දෙස බැලීමේදී ද පැහැදිලි වන එක්‌ කරුණක්‌ ඇත. මේ යුගයේ ගී සාහිත්‍යයේ හා සිව්පද සාහිත්‍යයේ සුවිශේෂී නිර්මාණකරුවන් සිටි බවය. එකල භාෂාවේ ස්‌වරූපය සීගිරි ගී වලින් ප්‍රකට වේ.

"නිල් කට්‌රොල් මලෙකැ

ඇවුණු වැටි කොල්මල් සෙයි

සැන් දැග සිහි වන්නෙයි

මහ නෙල් මල් අතිනි ගත්

මෙම ගී ලියා ඇත්තේ සීගිරි අප්සරාවන් ගැනය. එයින් එක්‌ කවියෙකුට සීගිරි අප්සරාවන් පෙනුනේ නිල් කටරොලු මලක අමුණන ලද වැටකොලුමලක්‌ සේය. මහනෙල් මල් අතින්ගත් ඇය සැන්දැවේ සිහිවන බව ඔහු කියයි.

තවත් කවියකුට සීගිරි අප්සරාවන් පෙනෙන්නේ වඩා වින්දනාත්මක අංශයෙනි. ඔහුට සීගිරි අප්සරාවන්ගේ දත් පෙනෙන්නේ පලන ලද කොමඩු ගෙඩියක ඇට සේය. කොමඩු ගෙඩියක වැගිරෙන්නේ පැණිය. එය ඔහුට සීගිරි ලලනාවන්ගේ මිහිරි වදන් ලෙස පෙනෙයි. ඇයගේ දිගු ඇස්‌ පෙනෙන්නේ කොමඩු පෙත්තක්‌ සේය. ඇයගේ එම මනහර දැක්‌මෙන් සිත් මුසපත් නොවන්නේද? යන්න ඔහුගේ වින්දනාත්මක අදහසයි.

මෙයින් පැහැදිලි වන්නේ අනුරපුර යුගයේ සිංහල සාහිත්‍යයේ තවත් ප්‍රබෝධාත්මක කාලපරිච්ඡේදයකි, පොළොන්නරු යුගය, මේ යුගයේ ලියෑවුණු ග්‍රන්ථ රචනා කොට ඇත්තේ බෝසත් සිරිත හා බුදුගුණය තේමා කරගෙනය. මුව දෙව්දාවත, සසදාවත, යන ග්‍රන්ථ ගී කාව්‍ය අංශයට ඇතුළත් වේ. ඒ අනුව ගී කාව්‍ය අංශයේ දියුණුවක්‌ ද තිබී ඇත.

මෙකල සිටි ප්‍රකට පඬිවරයෙකි ගුරුළුගෝමී ආචාර්යවරයා. බුදුගුණ වර්ණනා කරමින් ග්‍රන්ථ රචනා කොට ඇත. සිංහල සාහිත්‍යයේ එන අසම සම ප්‍රේම කථාව අන්තර්ගත වන්නේ ධර්ම ප්‍රදීපිකාවේය. එම කතාවෙන් සිංහල භාෂාවේ මෙන්ම සිංහල සාහිත්‍යයේද සංවර්ධනාත්මක අවස්‌ථාව හා රස වින්දනය ද කාව්‍ය රචනා ස්‌වභාවයද මනාව ප්‍රකට වේ.

ජානකී හරණ සන්නය, කාව්‍යාදර්ශ සන්නය, මේඝදූත සන්නය යන ග්‍රන්ථද පොළොන්නරු යුගයේ රචිතය.

දඹදෙණි සාහිත්‍ය යුගයද බුදුසමය පදනම් කර ගනිමින් සිංහල සාහිත්‍යයේ නැඟීමක්‌ සිදුවූ ආකාරය පැහැදිලිවේ. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, කව්සිළුමිණ, සිදත් සඟරාව, දඹදෙනි කතිකාවත, යන මේ ග්‍රන්ථ රචනා කළ අග්‍රගණ්‍ය පඬිවරු දඹදෙණි යුගයේ ප්‍රකට වෙති.

දඹදෙණි යුගයෙන් පසු කුරුණෑගල යුගයේදී සිංහල බෞද්ධ සාහිත්‍යයේ එන විශාලතම ග්‍රන්ථය වන පන්සිය පනස්‌ ජාතික පොත ලියෑවිණි. මෙයට තේමා වූයේ බෝධිසත්ව චරිත කතාවන්ය. මෙය මිනිස්‌ ජීවිත විවරණය කරන මහා සාහිත්‍ය ග්‍රන්ථයක්‌ විය. එයට අමතරව සිංහල බෝධිවංශය උම්මග්ග ජාතික පොත, දළදා පූජාවලිය, අනාගත වංශය, දළදා සිරිත, දඹදෙණි අස්‌න, ථුපවංශය, ආදී ග්‍රන්ථ ද මේ යුගයේදී රචනා කර ඇත.

මේ අනුව බලනවිට අනුරාධපුර යුගයේ සිට කුරුණෑගල යුගය දක්‌වා සිංහල බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂ දියුණුවක්‌ නැගීමක්‌, ප්‍රබෝධයක්‌ දක්‌නට ඇත. මේ සෑම ග්‍රන්ථයක්‌ම රචනා කර ඇත්තේ බුදු දහමේ ආභාෂය ලබමින්ය. සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ තුළින් එකල ග්‍රන්ථ කතුවරු බලාපොරොත්තු වූයේ බුදු දහම පදනම් කරගෙන සාරධර්ම පිරි සමාජයක්‌ ගොඩනැඟීම බව ඉතා පැහැදිලය.