Saturday, July 11, 2015

නුතන පද්‍යය රසාස්වාද අත්වැල

කතරගම (ගුණදාස අමරසෙකර)

ගුණදාස අමරසේතකරයන්ගේ "උයනක හිඳ ලිවු කවි" නමැතිි කාව්‍ය සන්ග්‍රහයෙන් කතරගම නම් කාව්‍ය සංග්‍රහය උපුටාගෙන ඇත. බුද්ධිමය ජීවිතයත් භාවමය ජීවිතයත් අතර ගට්ටනය නිර්මාණය කිරීමේ අදහසින් ඔහු මෙම පැදිපෙල නිර්මාණය කර ඇත. තර්කානුකූල බුද්ධිය යටපත්ව භක්තිය මත පදනම් වු භාවමය ජීවිත ක්‍රමයන් නැගී එන අයුරු විග්‍රහ කරන කවියා දෙවොලක් තුළ සිදුවන පුදපූජා, භාරහාර වීම්, යාතිකා යන ආදිය තාර්කානුකූලව බුද්ධියට හසු නොවුනද මිනිසා බුද්ධියෙන් එය ප්‍රතික්ෂේප කිරීමට අපොහොසත් බව දක්වයි. මනසත් මසැසත් එකිනෙක අන්ධව පවතින අවස්තාවක් පිලිබඳව ඉන් ඉක්බිතිව සිය අවධාණය යොමු කරයි. නිර්මාණය වන පරිසරයත් සමග බුද්ධිය යටපත්ව ගොස් හැගීම් ස්මතුවන අයුරු කවියා දක්වා ඇති ආකාරය අපුරුය.

නිර්මාණය වු තම පරිසරය හමුවේ බුදධිය යටපත්ව හැගීම් ස්මතු වෙද්දී බුද්ධිමය කුසලතාවයක් වන තර්කය නපුරු අවියක් බවට රූපකාර්ථවත්ව පවසයි. යටපත්වු බුද්ධිය ඉවතලු පඬරැල්ලක් බව පවසයි.යටපත්වු බුද්ධිය අන්ධ බවට මග පෙන්වන දුබල කෙනෙක් බව පවසයි. දෙවාලයක සිදුවන විවිධ ක්‍රියාකාරකම් හා යාතිකාදිය මගින් සන්කල්ප රූප උප්පාදනය කරන කවියා එකම කාව‍්‍යෝක්ති නැවත නැවත යෙදීමෙන් ලබාගන්නා ප්‍රභාව තුළින් ගැඹුරු සංකල්පයක් විචිත්‍රවත් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට උත්සහ කරයි.

මිනිස් ජීිතයේ දී මෙන්ම භවමය පක්ෂයද සමබරව පැවතිය යුතු බවත් බාහිර සාදක මත මෙම දෙයංශයේම ක්‍රියාකාරීත්වය විපර්යාසයන්ට ලක්වන බවත් මෙම පද්‍යයේ ජීවන දෘෂ්ටිය ලෙස උකහා දක්වයි.
හේරත් හාමි (රසාස්වාදය) - විමලරත්න කුමාරග

 සමාජය විසින් අසම්මත පහත් යැයි සැලකෙන රැකියා දවසක නියලෙන පුද්ගලයකුගේ ජීවිතය හා බැදුණු උත්තරීතර මිනිස් ගුණ ඇදහීම මෙම පැදි පෙළට පාදක වී ඇත. ඔහු කරත රැකියාව සමාජ සම්මතයට අනුව පහත් බව අභිබවා ඔහුතුල සැගවුනු උසස් මානව ගුණ කවියා මෙයින් ස්මතුකර දක්වන්නේ සමාජ සම්මතය මගින් උසස් යැයි කියන එහෙත් පහත් මිනිසුන්ට සිවුම් උපහාසාත්මක විලාසයෙනි. මෙනි දුබලතා ඇති සමාජය උපහාසයට ලක් කිරීමට පමන් කතුවරයාගේ පරමාර්ථය නොවුනද හේරත් හාමිගේ ජීවන වෘතියත් ඔහුගේ ගුණයහපත් බවත් සමාජයේ බොහෝ අය සමග සැසදීමෙන් ඒ බව පැහැදිලි වේ. පැදි පෙළ අරම්බයේ කවියා මෙසේ දක්වයි.
අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                          මි
මිනී කපන මුත් ඒ හේරත් හා                             මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි
යන්නෙන් කවියා උක්ත අදහස වඩා තිවුර කරයි. කවියා මිනිසෙකි හේරත්හාමිද මිනිසෙකි ඔවුන් දෙදෙනාම මිනිසුන් වුවත් සමාජයේ වැදගත් පුද්ගලයා විදියට වැජඹෙන්නේ කවියාය. හේරත්හාමි සමාජය ඉදිරියේ පහත් මිනිසෙකි. සමාජය එසේ වුවත් ජිවනන යථාර්ථය යථාර්ථවාදිව දකින කවියා හේරත්හාමිගේ උසස් ගුණ හදුනා ගනි.හේරත් හාමි රැකියාව ලෙස මිණි කැපුවද තමාට වඩා විසි තිස් ගුනයකින්දැහැමි මිනිසෙකු ලෙස සැලකෙන්නේ එම නිසාය.
ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                       වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ
ඇතමෙකු අප්ප්‍රසිද්දියේ ජිවත් වුවද උසස් මානව දහම් ඔවුන්ගේ ජිවිත සමග බැඳි පවති. හේරත් හාමි සුළු මාස්පඩි කරුවෙකි. කම්කරු පඩිය පරදා ඉහල වැටුප් ඉල්ලා හඩ නොනගන ඔහු තුල ජීවත් වන්නේ මිනිසත් කම හරිහම්බ කරන දුර්වල මිනිසෙකි .
ජිවිත කාලය පුරාම ප්‍රාණය නිරුද්ධවු (පණනැති) මළ කදන් සමග ජිවත් වුවත් ඔහුගේ රූපය සිත්ගන්නාසුළුය. හැඩි දැඩි දේහ විලාසය කඩවසම් රූපකාය ඉලන්දාරිවිය ඔහුගේ දිවියේ අගය වැඩි කරයි.
ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                         රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                     රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                        රිය
පුහුදුන් මානවයාට පුහුදුන් ගතිලක්ෂණ සියල්ලම සපුරා නසාලිය නොහැකිය. එහෙත් ඔහුට එය අවම කර ගැනිමේ හැකියාව ඇත. අනුන්ගේම නොව තමන්ගේම මලමූත්‍රා ඇදීමට කෙනෙකු හැකිලෙන්නේ එම පුහුදුන් ගතිලක්ෂණ නිසාය .
තව කෙනෙකුට කල නොහැකි එම රජකාරිය ගෞරවයෙන් කිරිමෙන් පෘතුල සමාජයේ සුවිශේෂී මිනිසෙකු ලෙස ඔහු ගෞරවයට පාත්‍රවිය යුතුය.
උදා :- මට මහ පුදුමයකි ඔහු මේ කරන කාර්ය
සමාජයේ බොහෝ මිනිසුන් මෙන් එය විෂ්මය දනවන කාර්යක්සේ දකි. මලමුත්‍රා ඇදිම, මිනී කැපීම රැකියාව වුවත් ඔහු මිනිසෙකු හැටියට ශ්‍රෙෂ්ඨයෙකි.
මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                      දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                  දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු                   ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක           ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො                 ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ                  ලේ

ගොවි,කම්කරු,රදළ කුලේ කිසිවෙකු විසින් මෙම කාර්ය සිදු නොවුනි . ඔවුන් සතුන් මැරුවත් ඔහු පන ඇති සකතකු නොමැරුවේය. ඔහු එයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහුගේ රැකියාව පහත් යැයි සම්මත වුවද උසස් ලෙස පහත් වැඩ කරන මිනිසුන්ට වඩා ඔහු උසස් මානව ගතිවලින් හෙබි බවයි. කෙනෙකුට පිලිකුල් වුවත් බියජනක වුවත් ඔහුගේ අමිහිරියාව ඔහුගේ පෞද්ගලික ජිවිතය හා සම්බන්ධ නොකර ගනි. ඔහු අසාමානිය කෙනෙකු මෙන් පෙනුනත් ඔහු සාමාන්‍ය මිනිසෙකි.

අවනත සිනා රැලි වත නිතරම පතු                    රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                       රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

හේරත්හාමිගේ එකම නෑයා නැගණියි.ඔහු ජිවත්ව සිටියදීම ඇයටද මරණය හිමිවේ. උනුන් අතර අධි සංවේගි සහෝදර ප්‍රේමයක් පැවතුණි. ජිවත්ව සිටියදි උනුන්කඳුළු සැලුවේ එම නිසාය. එහෙත් නැගණිය මරණයට පත්වුවිට කදුලු නොසලාවි ඒ තරමටඔහුට මරණය පිලිබද අවබෝධයක් තබී ඇත.

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                    නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ            නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි                 නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ               නේ

කවර පැලැන්තියක කෙනෙකු වුවද මැරුණු පසු ඔහුට තවත් මළකුණක් පමණි. ඔහුට තම නැගනියගේ මළකදද එසේමය . ගැමි සබ්භියත්වයක එක්කුස උපන් නැගනිගේ මළකඳ කැපු හෙයින් සමාජය විසින් නානාවිධ අක්‍රෝධ පරිභව කළද ලොව ඇති මිහිරි මංශයන්ගෙන්(ලේ,මස්) ඔහුට ඵලක් නැත.

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි               සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ            සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

මුලු දිවිය පුරා මලමූත්‍රා සමග දිවි ගෙවුවද ඔහුගේ ඇතුළත පිරිසිදුය. කුණු කයට සැප දෙමින් ජීවත්වන මිනිසුන් හේරත්හාමිගේ ජීවන පටිපදාව ඉදිරියේ උපහාසයට ලක් වේ. රිහිරි මස වඩන්නට වෙර දරණ මිනිසුන් ඇසුරු කළද ඔහු ඒ පිටුපස හබා ගිිය මිනිසකු නොවේ. දිරිය ජීවත් කරවීමට වෙර දැරු මිනිසෙකි. වෘතියට කුමක් වුවත් ඔහු ආගමක නැඹුරුතාවක්ද ඇති පුද්ගලයෙකි.බුදුන් කෙරෙහි මෙන්ම දෙවියන් කෙරෙහිද දැඩිි බක්තියක් ඇත්තේ එ් බැවිණි.

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                    යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                     යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

කවියා තම අනුභූතීය නිර්මාණාත්මකව දිග හැරීමට දැරු ප්‍රයත්ඤය සාර්ථකය.වෙසින්ම හේරත් හාමි ගැන අනුකම්පාව කරුණාව රසයයට බදුන්කරමින් පාඨකයා කැරුණා රසයේ ගිල්වන්නට දරන චතුරාර්‍යය අගය කළ යුතුය.‍
පාඨකයා වෙහෙසට පත් කරන බසක් වෙනුවට සරල බසක්යොදමින් පඨක රසතඤතාව අගය කළ යුතුත්තකි. සිවුපද අකෘතියෙන් නිමවා ඇති මෙය විමලරන්නයන්ගේ සාර්ථක නිමැවුමකි.
ජාතික තොටිල්ලපිළිබද රසාස්වාදය

                                                              ජාතික තොටිල්ලපිළිබද රසාස්වාදය 
                                             කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවීන්ගේ කවීත්වය විමසා බැලීමේදී දක්නට ලැබෙන සුවිශේෂිතාවය නම් එදා අඩිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයට හා බටහිර සංස්කෘතියට එරෙහිව පරාදීන ජාතියක් තුළ දේශානුරාගය දැනවීමට ඔවුන්ගේ නිර්මාණ යොමු වී තිබීමයි. මෙහිදී ඇස්.මහින්ද හිමියන් අයත් වන්නේද මෙම කොළඹ යුගයේ මුල් පරපුරටයි. ඇස්.මහින්ද හිමියන් වූ කලී අප රට පරාධීනව සිටි අවදියේදී කවිය අවිය කොටගෙන නිදහස් සටනට අනුප්‍රාණය දුන් හිමි නමකි.
                                          “ජාතික තොටිල්ලහෙවත් දරු නැලවිල්ල නිර්මාණයේදී අප කතුවර හිමියන් අරමුණ ලෙස යොදා ගෙන ඇත්තේ දේශයේ විමුක්තිය වෙනුවෙන් වත්මන් ළමා හා තරුණ පරපුර කැපවිය යුතු බවයි.එසේම වස්තු විෂය ලෙස යොදාගෙන ඇත්තේ ළදරු වියේ සිටම ලාංකිකයන් තුළ ස්වකීය දේශය ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමයි. එසේම මෙම කාව්‍ය පන්තිය සිව්පද ආකෘතියට රචනා වී ඇති බව දැක ගත හැක.
                         මෙහි යොදා ගෙන ඇති භාෂාව ඉතාමත් සරල වු බස් වහරකි.එසේ හෙයින් මෙම පද්‍ය පන්තිය දරුවන්ට සේම වැඩිහිටියන්ට ද  එක සේ රස විඳිය හැක.
                                                          “ මුනි සිරිපා සිඹිමින්                    නේ
                                                            සමනොළ ගිරි පෙදෙසින්              නේ
                                                            මඳ සුළගයි මේ එන්                   නේ
                                                            මගේ පුතා නිදියෙන්                   නේ
                        මෙසේ සරල පද වැල් කිහිපයකින් හරවත් අරුතක් දරුවෙකුට ක්‍ෂනිකව වැටහෙන අයුරින් කියා පෑමට අප කතුවර හිමියන් බස හසුරුවා ඇති ආකාරය අපූරුය. සරල පද වැල් යොදා ගැනීම තුළින් කුඩා දරුවෙකුට කුඩා කල සිටම දේශීයත්වය,ජාතික අභිමානය ඉගැන්වීමට මෙම පද්‍ය පන්තිය මහත් රුකුලක් වන බැව් නොඅනුමානය.
                                                දරු නැළවිල්ල පද්‍ය පන්තිය නිර්මාණයේ දී ඇස්.මහින්ද හිමියන් රූපක යොදා ගැනීම තුළින් එහි අර්ථාන්විත බව වැඩි කර ඇත. එසේම එය පැදි පෙළට අලංකාරත්වයක් ගෙන දෙයි.
                                                         “ නිදහස මහ මුහුදක්                       වේ
                                                            එහි උල්පත පුත නුඹ                    වේ
                                                            ඒ බව සිහි කොට මෙලො               වේ
                                                            යුතු කම ඉටු කළ යුතු                   වේ
            අප කතුවර හිමියන්ගේ නිර්මාණය හුදු දරු නැළවිල්ලක සුලකුණු ඉක්මවා යන්නකි.එසේ වුවද සම්ප්‍රදායික දරු නැළවිලි ගී වලට පාදක වී ඇති සුගායනීය බව හා නැළවිලි ගියක අන්තර්ගත විය යුතු සකලාංග යන්ගෙන්ම පරිපූර්ණ වූ රසවත් නිර්මාණයකි. මෙම පැදි පෙළ තුළ රූපක යොදා ගැනීමේදී ,නිදහස නැමැති මහ මුහුදේ උල්පත නුබයි යැයි පවසමින් හරවත් උපදේශයක් ලබා දීමට අප හිමියන් කටයුතු කර ඇත.
                                                            කාව්‍ය පන්තිය රසවිඳින්නා තුළ සංකල්ප රූප ජනිත වන අයුරින් කාව්‍යකරණයෙහි යෙදීමට ඇස්.මහින්ද හිමියන් සමත්ව ඇත.
                                                         “ තවුසෙකු සේ ඇඳ පැල                  ඳා
                                                            පඬුවස් දෙව් මහා නිරි                   ඳා
                                                            මාකඳුරින් ගොඩ බට                    දා
                                                            මඟුලක් වී රට මුළු                      දා
                                                අතීත කතා පුවත් ගෙන හැර දැක්වීම තුලින් හෙළ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයන් නැවත ආවර්ජනය කරලීමට මහින්ද හිමියන් කටයුතු කර ඇත. එසේම එම කතා පුවත් රසවිඳින්නා ගේ මනස තුල මනාව සනිටුහන් කිරීමට සංකල්ප රූප භාවිතා කර ඇත. තවුසෙකු සේ  ඇඳ පැළඳා  පඬුවස් දෙව් මහා නිරි ඳා යනු එම සංකල්ප රූපයයි.
                                    ඇස්.මහින්ද හිමියන් කාව්‍යකරණයේ නිරත වීමේදී අර්ථ රසය හා ශබ්ද රසය මුසු කරමින් දරු නැළවිල්ල පැදි පෙළ අපූර්ව ලෙස නිර්මාණය කර ඇත.
                                                          “ ජාතික රණ දෙරණ ම                 තේ
                                                            ගැටී වැටී මළ මොහො                තේ  
                                                            සුන්දර සුරඹුන්ගේ අ                   තේ
                                                            නැළවෙන බව සිතනු පු               තේ
                                    මෙහිදී උද්වේගජනක  පද්‍ය නිර්මාණයේ යෙදුණු මහින්ද හිමියන් ශබ්ද රසය ඊට මනාව ඉවහල් කර ගනිමින් අර්ථ රසය දැනවිමට ද කටයුතු කර ඇත. කෙසේ නමුත් ඇතැම් තැන් හි සංයමයෙන් ගිලිහුණු තැන්ද පවතින බව නොරහසකි. එසේම ඉහත දැක්වූ උදාහරණය තුල පවතීන අර්ථ රසය නම් රට වෙනුවෙන් සටන් කර මරණයට පත් වුවත් ඒ කලා වු පිනෙන් දිව්‍ය ලෝකයෙහි  උපදින බවයි. මෙසේ අර්ථ රසය හා ශබ්ද රසය මුසු කරමින් කාව්‍යකරණයෙහි ඇති තම ප්‍රතිභාව පෙන්විමට ඇස්.මහින්ද හිමියන් සමත් වී ඇත.
                        දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල පැදි පෙළ තුලින් දේශීයත්වය හා ජාතික අභිමානය යළි අවදි කිරීමටත් ළමා මනස තුළ රට,ජාතිය,ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමටත් ඇස්.මහින්ද හිමියන් ගෙන ඇති උත්සාහය සාර්ථකය.එසේම අභීත සිංහලයෙකු වීමට ගත යුතු මග පහදා දීමට තරම් මෙම නිර්මාණය පොහොසත්ය.



Monday, January 26, 2015

හෙළ සාහිත්‍යය

බුදු දහමින් පෝෂණය වූ හෙළ සාහිත්‍යය

මහින්දාගමනයේ දායාදයක්‌ වශයෙන් සිංහල සාහිත්‍ය හැඳින්විය හැකිය. සිංහල සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය දෙකක්‌ නොව එකක්‌මය. මේ දෙක එකින් එක වෙන් කිරීම ඉතා අපහසුය.

මහින්දාගමනයෙන් පසු ගමේ පන්සල අධ්‍යාපන මධ්‍යස්‌ථානය බවට පත්විය. පැරණි අධ්‍යාපනය හා සාහිත්‍ය පෝෂණය වී ඇත්තේ පන්සල හා භික්‍ෂූන් වහන්සේලා මුල්කරගෙනය. සිංහල සාහිත්‍යයේ ඉතිහාසය දෙස බලනවිට පෙනී යන දෙයක්‌ නම් පන්සල ආශ්‍රය කරගෙන උගත් ප්‍රභූ පිරිසක්‌ අනුරාධපුර යුගයේ සිට පහළ වූ බවයි.

පැරණි පොතපත පිළිබඳ විමර්ශනය කරන විට පෙනී යන්නේ සිංහල සාහිත්‍යයට තේමා වූයේ බෝසත් කවි ඇතුළු බුද්ධ ධර්මය බව පෙනේ. මහින්දාගමනයෙන් පසුව බිහිවූ මුල්ම සිංහල සාහිත්‍යය කෘති අයත් වන්නේ "හෙළ අටුවා සාහිත්‍යයටය. හෙළ අටුවා සාහිත්‍යය හා සම්බන්ධ වන්නේ බුදුන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මයයි. ලංකාවට බුදු සමය රැගෙන ඒමෙන් පසුව මහා විහාරවාසී භික්‍ෂුන් වහන්සේලා විසින් ත්‍රිපිටක ග්‍රන්ථවලට සිංහලයෙන් ලියන ලද අටුවා ග්‍රන්ථ හෙළ අටුවා සාහිත්‍යයට ඇතුළත් වේ. හෙළ අටුවා සාහිත්‍ය ගොඩනැඟීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ අනුරාධපුර මහා විහාරවාසී උගත් ධර්මධර විනයධර භික්‍ෂූන් වහන්සේලාටය. හෙළ අටුවා සාහිත්‍යයට ඇතුළත් මූලික ග්‍රන්ථ අතර මහ අටුවාව, මහා පරිච්චරි අටුවාව, කුරුන්දි අටුවාව, අන්ධක අටුවාව, සංෙ€ප අටුවාව, යනාදිය හැඳින්විය හැකිය.

හෙළ අටුවා ග්‍රන්ථවලට පසුව වැදගත් ඓතිහාසික ග්‍රන්ථ වන්නේ දීපවංශය, මහාවංශය, යන වංශ කතා දෙකය. මේවායින් කියවෙන්නේ මූලික වශයෙන් ඓතිහාසික ප්‍රවෘත්තින්ය. ඒවා රචනා කරනු ලැබුවේ පාලි භාෂාවෙනි. මේ මගින් සිංහල මුතුන්මිත්තන්ගේ වගතුග වීරක්‍රියා, ආගමික සංස්‌කෘතික හා සාහිත්‍ය සේවාව පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

HISTORY OF SRILANKA HELA ATUWA


අනුරාධපුර යුගයේදී පැවැති අපේ භාෂාව සිංහල ප්‍රාකෘතය නමින් හැඳින්වේ. එම සිංහල ප්‍රාකෘතය පෝෂණය වූයේද බුදු දහමේ ආභාෂයෙනි. මේ නිසා සිංහල භාෂාවේ පෝෂණයට බුදු සමයත්, බුදු සමයේ පෝෂණයට සහ සිංහල සාහිත්‍යයේ පෝෂණයට ප්‍රාකෘත සිංහල භාෂාවත් සම්බන්ධ විය. ඒ මගින් භාෂාවේ මෙන්ම සාහිත්‍යයේ ද පෝෂණය ඇති විය.

අපේ පැරැණි සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරුලිපි, ආදිය ලියවුණේ ද ප්‍රාකෘත සිංහලයෙනි. ඒවාද අපේ පැරැණි සාහිත්‍ය කෘති ලෙස හැඳින්විය හැකිය. එම සෙල්ලිපි, ලෙන් ලිපි, පුවරු ලිපි ආදියෙන් ඇරැඹුන සිංහල සාහිත්‍යයේ නැගීමක්‌ අනුරාධපුර යුගයේදීම දැකගත හැකිය. එමෙන්ම සිංහල භාෂාවේ ද දියුණුවක්‌ මේ යුගයේ පැවැති බව පාලි භාෂාවෙන් ලියෑවී තිබූ බුද්ධ ධර්මය සිංහල භාෂාවෙන් දේශනා කිරීමෙන් පැහැදිලි වේ.

බුදු සමය ලංකාවේ ස්‌ථාපිත වූවායින් පසුව අනුරාධපුර යුගයේදී රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයක්‌ අදටත් දැකගත හැක. සිඛ වළඳ හා සිඛ වළඳ විනිස, හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස, සියබස්‌ලකර, දම්පියා අටුවා ගැටපදය, කේශධාතු වංශය, එළු දළදා වංශය, හෙළ සූත්‍ර එයින් කිහිපයකි.

අනුරපුර මුල් යුගයේ රචනා කරන ලද ග්‍රන්ථ නටබුන් වී ඇතත් එකල සිටි කවියන් පිළිබඳව ද සඳහන්වේ. සක්‌දාමල, අසක්‌දාමල, දැමිය, බෑබිරිය, දළ බිසෝය, අනුරුද්ධ කුමාරය, දළගොත් කුමාරය, දළසලකුමාරය, කිත්සිරි කුමාරය, පුරවඩු කුමාරය, සූරියබාහුය, කසුප්තොට ඈපාය, යන මේ දොළොස්‌ මහා කවියන් ගැන සඳහන් වීමෙන් මේ යුගයේ සිංහල සාහිත්‍යයේ සුවිශේෂ වර්ධනයක්‌ තිබුණ බව කිව හැකිය.

අනුරාධපුර යුගයේ මැද භාගයට පමණ අයත්වන සීගිරි ගී දෙස බැලීමේදී ද පැහැදිලි වන එක්‌ කරුණක්‌ ඇත. මේ යුගයේ ගී සාහිත්‍යයේ හා සිව්පද සාහිත්‍යයේ සුවිශේෂී නිර්මාණකරුවන් සිටි බවය. එකල භාෂාවේ ස්‌වරූපය සීගිරි ගී වලින් ප්‍රකට වේ.

"නිල් කට්‌රොල් මලෙකැ

ඇවුණු වැටි කොල්මල් සෙයි

සැන් දැග සිහි වන්නෙයි

මහ නෙල් මල් අතිනි ගත්

මෙම ගී ලියා ඇත්තේ සීගිරි අප්සරාවන් ගැනය. එයින් එක්‌ කවියෙකුට සීගිරි අප්සරාවන් පෙනුනේ නිල් කටරොලු මලක අමුණන ලද වැටකොලුමලක්‌ සේය. මහනෙල් මල් අතින්ගත් ඇය සැන්දැවේ සිහිවන බව ඔහු කියයි.

තවත් කවියකුට සීගිරි අප්සරාවන් පෙනෙන්නේ වඩා වින්දනාත්මක අංශයෙනි. ඔහුට සීගිරි අප්සරාවන්ගේ දත් පෙනෙන්නේ පලන ලද කොමඩු ගෙඩියක ඇට සේය. කොමඩු ගෙඩියක වැගිරෙන්නේ පැණිය. එය ඔහුට සීගිරි ලලනාවන්ගේ මිහිරි වදන් ලෙස පෙනෙයි. ඇයගේ දිගු ඇස්‌ පෙනෙන්නේ කොමඩු පෙත්තක්‌ සේය. ඇයගේ එම මනහර දැක්‌මෙන් සිත් මුසපත් නොවන්නේද? යන්න ඔහුගේ වින්දනාත්මක අදහසයි.

මෙයින් පැහැදිලි වන්නේ අනුරපුර යුගයේ සිංහල සාහිත්‍යයේ තවත් ප්‍රබෝධාත්මක කාලපරිච්ඡේදයකි, පොළොන්නරු යුගය, මේ යුගයේ ලියෑවුණු ග්‍රන්ථ රචනා කොට ඇත්තේ බෝසත් සිරිත හා බුදුගුණය තේමා කරගෙනය. මුව දෙව්දාවත, සසදාවත, යන ග්‍රන්ථ ගී කාව්‍ය අංශයට ඇතුළත් වේ. ඒ අනුව ගී කාව්‍ය අංශයේ දියුණුවක්‌ ද තිබී ඇත.

මෙකල සිටි ප්‍රකට පඬිවරයෙකි ගුරුළුගෝමී ආචාර්යවරයා. බුදුගුණ වර්ණනා කරමින් ග්‍රන්ථ රචනා කොට ඇත. සිංහල සාහිත්‍යයේ එන අසම සම ප්‍රේම කථාව අන්තර්ගත වන්නේ ධර්ම ප්‍රදීපිකාවේය. එම කතාවෙන් සිංහල භාෂාවේ මෙන්ම සිංහල සාහිත්‍යයේද සංවර්ධනාත්මක අවස්‌ථාව හා රස වින්දනය ද කාව්‍ය රචනා ස්‌වභාවයද මනාව ප්‍රකට වේ.

ජානකී හරණ සන්නය, කාව්‍යාදර්ශ සන්නය, මේඝදූත සන්නය යන ග්‍රන්ථද පොළොන්නරු යුගයේ රචිතය.

දඹදෙණි සාහිත්‍ය යුගයද බුදුසමය පදනම් කර ගනිමින් සිංහල සාහිත්‍යයේ නැඟීමක්‌ සිදුවූ ආකාරය පැහැදිලිවේ. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, කව්සිළුමිණ, සිදත් සඟරාව, දඹදෙනි කතිකාවත, යන මේ ග්‍රන්ථ රචනා කළ අග්‍රගණ්‍ය පඬිවරු දඹදෙණි යුගයේ ප්‍රකට වෙති.

දඹදෙණි යුගයෙන් පසු කුරුණෑගල යුගයේදී සිංහල බෞද්ධ සාහිත්‍යයේ එන විශාලතම ග්‍රන්ථය වන පන්සිය පනස්‌ ජාතික පොත ලියෑවිණි. මෙයට තේමා වූයේ බෝධිසත්ව චරිත කතාවන්ය. මෙය මිනිස්‌ ජීවිත විවරණය කරන මහා සාහිත්‍ය ග්‍රන්ථයක්‌ විය. එයට අමතරව සිංහල බෝධිවංශය උම්මග්ග ජාතික පොත, දළදා පූජාවලිය, අනාගත වංශය, දළදා සිරිත, දඹදෙණි අස්‌න, ථුපවංශය, ආදී ග්‍රන්ථ ද මේ යුගයේදී රචනා කර ඇත.

මේ අනුව බලනවිට අනුරාධපුර යුගයේ සිට කුරුණෑගල යුගය දක්‌වා සිංහල බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂ දියුණුවක්‌ නැගීමක්‌, ප්‍රබෝධයක්‌ දක්‌නට ඇත. මේ සෑම ග්‍රන්ථයක්‌ම රචනා කර ඇත්තේ බුදු දහමේ ආභාෂය ලබමින්ය. සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ තුළින් එකල ග්‍රන්ථ කතුවරු බලාපොරොත්තු වූයේ බුදු දහම පදනම් කරගෙන සාරධර්ම පිරි සමාජයක්‌ ගොඩනැඟීම බව ඉතා පැහැදිලය.

Wednesday, November 5, 2014

කවිය හා වගකිම

පැහැදිලිවම කවිය යනු සමාජ මැදිහත්වීමක්. කිසිම නිර්මාණකරුවෙකුට තමා වෙසෙන සමාජයේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලනමය තත්ත්වයන් අමතක කරන්නට හෝ ඉන් වියෝවී හුදකලා වන්නට ඉඩක් නෑ. ඒ නිසාම පසුගිය කාලය පුරාම පොදුවේ කවීන් මෙකී සාධකවලින් අනවරථ බැට කෑමකට ලක්වූ සමාජය විචාරයට බඳුන් කිරීමට දැක්වූ උත්සහය ප්‍රබල සංවාදයකට ලක් කළ යුත්තක්.
ඒත් මෙහිදී කවියාගේ සමාජ විචාරක භූමිකාව පිළිබඳව අවධානය යොමු කිරීම තුළ සෞන්දර්යවාදී කවිය ඉඳුරා බැහැර කළ යුතු යැයි කෙසේවත් සැලකෙන්නේ නැහැ. කවර අසීරු තත්ත්වයන් යටතේ වුවත්, මිනිසුන් විවිධ රසභාවයන් අත් විඳිනවා. සෞන්දර්ය නිමේෂයන්හි පහස ලබනවා. ප්‍රේමයේ, විරහවේ ගැලෙනවා. ඒ සියල්ලම කවියට අදාළයි. ඒත් මම මෙහිදී කියන්නේ ඒ සැමදේම මැද අද දවසේ අපට කාලකණ්ණිකම උරුම කෙරෙනා සමාජ ක්‍රමයක විය ගසේ පීඩනයෙන් ගැලවීමට කවියාට නොහැකි බවයි. එසේම, එම සමාජයට එරෙහිව නැගෙනා කවියාගේ උස් හඬ තුළත් ඊටම ආවේණික සෞන්දර්යයක් තිබෙන බවයි. ඒ සියල්ලටම වඩා කවියා සතු දෘෂ්ටිමය පොහොසත් බව ඉතා වැදගත් බවයි.
අද අපි ඉන්නේ ශීලාචාරකම ගැන මහ ඉහළින්ම කතා කරන යුගයක. ශීලාචාර ආමන්ත්‍රණ පිළිබඳව උපරිම සැලකිල්ල දක්වන යුගයක. ඒත් මේ ශීලාචාරකමේ දවටනය තුළින් එළියට පෙනෙන අශිලාචාරකමේ නිරුවත කෙතරම් ජුගුප්සාජනක ද? මෛත්‍රිය දේශනා කරන මුවින්ම, අනිකා හැඳි ගෑවෙන්නට ගම්මිරිස් අඹරන්න වරෙව් යයි කියන්නේ කොහොම ද? මේ වගේ සරල උදාහරණ මොන තරමක් තියෙනව ද? ගැමි සෞන්දර්යය ඉතා ප්‍රබලව දැක්වූවා යැයි විචාරයට ලක්වෙන විමලරත්න කුමාරගම කවියා තෙරුවන් සරණ යාමමැයෙන් ලියූ කවියෙන් මේ දෙබිඩි ස්වරූපය ඉතා හොඳින් නිරූපණය කරනවා. හැබැයි, ඔහු අද මේක ලිව්වනම් ඔහුට ලොකු සදාචාර අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙන්න තිබුණා.
කවියා යනු සීමා මායිම් මැද කොටු කළ හැකි අයෙක් නෙවෙයි. ඔහු තමන්ගේ යුගය තුළ තමන්ගේ සමාජය සමඟ ගැවසෙන පිය මනින කෙනෙක්. එහෙත් ඔවුන් අන් අය දකින දෑ මෙන්ම අන් අය දකින දෙයෙහි ඔවුන්ට නොපෙනෙන පැත්තක් දකිනවා. ඊට දක්වන ප්‍රතිචාරය තුළින් ඔහුගේ කවිය බිහිවෙනවා. ඔහු තමා ඉදිරියේ මවා ඇති සියලු ව්‍යාජ කඩතුරා ඉරා දමමින්, තමන් මත පටවා ඇති තමාට බරක් සේ දැනෙන නිර්මිත ලෝකය සිය කවිය තුළින් ඛණ්ඩනයට ලක් කරනවා. ඔහු මේ නිසා විටෙක සම්මත සමාජයේ කෝපයට ගර්හාවට ලක්වන අයුරින් සමාජ සම්මතයන් පුපුරුවා හරිනවා.
කවියා නිතරම පවත්නා සමාජ ක්‍රමය කෙරේ වන අතෘප්තිය හඟින්නෙක්. ඊට එරෙහිව නැගෙන්නෙක්. අතීත කවීන්ට මෙන්ම රත්න ශ්‍රී, පරාක්‍රම පරපුරට නන්දන වීරසිංහ වැන්නවුන්ගේ පරපුරට සහ ඉන් පසු සෑම පරපුරකටම ද මෙය පොදුයි. මිනිසාට මිනිසෙකු ලෙස සලකන ආකාරයේ සමාජ ක්‍රමයේ වෙනසක් ඇතිවන තුරුම මේ අතෘප්තිය එලෙසම පැවතීම අනිවාර්යයක්. එහෙයින්ම එම සමාජය තුළ වෙසෙන කවියාගේ හෘද සාක්ෂියේ හඬ විවිධ කාව්‍ය නිර්මාණ හරහා අපට අත්විඳිය හැකියි. ලංකාවේ විසූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු වන දයාසේන ගුණසිංහයන් පුවත්පත් කලාවෙන් කෲර ලෙස නෙරපනු ලැබූ පසුව ඔහු හඬ නැගූයේ කවියෙන්. ඔහුගේ මෙම කවිය අසූව දශකයේ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීමක්. අදත් අපි ඉන්නේ ඒ අයුරින් සමාජයේ හෘද සාක්ෂිය ප්‍රශ්න කළ යුතු යුගයක

කලාව යනු කුමක්ද

කලාව යනු කුමක් ද?
එදිරිවීර සරච්චන්ද්‍ර
කලාව යනු කුමක් දැයි පහදා දීම ඉතා උගහට ය. කලාව නො වන්නේ කුමක් දැයි දැක්වීම ඊට වඩා පහසු බව කිව යුතුයි.
කලාව වසයෙන් දක්වන්නේ යම් කිසිවක් කිරීම ය, නැතහොත් නිපදවීම ය. ඉංග්‍රීසි art යන වචනයෙහි ද මේ අර්ථය තිබේ. The art of playing cricket, the art of writing, the art of talking in public ආදි යෙදුම්වල මේ අර්ථය ගැබ් වී තිබේ.
එ‍ෙහත් සංගිත කලාව, ‘චිත්‍ර කලාව, ‘නාට්‍ය කලාව යන ආදි යෙදුම්වල විශේෂ අර්ථයක් තිබෙන බව සැලකිය යුතු ය. යම් කෙනෙකු සිතාරයක් හෝ තබ්ලාවක් හෝ බටනලාවක් වාදනය කරන විට ඔහු දක්ෂ සංගීතඥයෙක් හෝ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් හෝ දක්ෂ නළුවෙක් යයි අර්ථාන්විත ව ව්‍යවහාර කළ හැකිය. රවි ශංකර් සිතාරය වාදනය කරන විට සමහරු එහි රසයවිඳිති. සිතාර් වාදනය කිරීමේ දී ඒ තැනැත්තා දක්වන දක්ෂතාවයයි මෙතැන දී කියවෙන්නේ. අසන්නා තුළ රසයක්උපදී යැයි කිව හැකි ය.
රසයයනු කුමක් ද කියා පැහැදිලි කිරීම උගහට ය. කිසියම් ගීතයකට හෝ වාදනයකට සාවධාන ව කන් දෙන තැනැත්තා තුළ කිසියම් ආහ්ලාදයක් උපදී. ඔහු එයින් රසාස්වාදයක් විඳිතියි කිව හැකි ය.
රසාස්වාදය යනු අසන්නා තුළ ජනිත වන ආවේග සමූහයයි, එනම් වින්දනයයි. අසන්නා එයින් තෘප්තිමත් වන්ට පුළුවන. ඔහු එයින් කිසිදු වින්දනයක් නො ලබන්ට ද පුළුවන. ඔහු එම වාදනයට කන් දී තෘප්තිමත් වුව හොත් ඔහු රසාස්වාදයක් විඳිතියි අපට වටහා ගත හැකි ය.
මේ අයුරු ප්‍රතිචාරයක් විඳින්නට ඔහු වෙනත් සිතාර් වාදකයන්ගේ වාදනවලට කන් දීමේ පුරුද්දක් ඇත්තෙකු විය යුතු ය. ඔහු වාදකයා කෙරෙහි පැහැදෙන්ට පුළුවන. තමා ලබන වින්දනය ඔහු තුළ ප්‍රිය ජනක හැඟීමක් වන්ට පුළුවන.
කලාවයනු කෙබන්දක් දැයි වටහා ගැනීමට අපි කලාත්මක කෘතියක් දෙස බලමු. එය ගීතයක් විය හැකි ය. එසේ නො වේ නම් කලාත්මක යයි පිළිගනු ලබන චිත්‍රයක් නො එසේ නම් කලාත්මක ලක්ෂණයෙන් යුත් ස්වභාව දර්ශනයක්.
එබන්දක් අප හඳුනා ගන්නේ දුටු විගස අප තුළ ප්‍රසන්නාත්මක චෛතසිකයක් ජනිත වන බැවිනි එනම් ප්‍රසන්නාත්මක හැඟීමක්. එහි ප්‍රසන්න බව එහි රටාව නිසා ඇති වන්නක් විය යුත ය. එබඳු වස්තුවක් දුටු විගස අප තුළ පෙර නුවූ විරූ චෛතසිකයක් ජනිත වන බැවිනි. ඊට රසාස්වාදයයි කියනු ලැබේ. එම වස්තුවේ කිසියම් ස්වරූපයක් නිසා මෙවැනි චෛතසිකයක් ජනිත වේ. එනම් එහි සමබර ගතිය වන්ට පුළුවන; එසේ නැත්නම් එහි වර්ණවල අප සිත් ගන්නා එක්තරා විශේෂත්වයක්. මේ සියල්ල අතර එහි අනන්‍ය සාධාරණ ස්වරූපයක් ඇති බව පෙනේ.
බලන්නා තුළ හෝ අසන්නා තුළ එහි අනන්‍ය සාධාරණ ස්වරූපය හේතු කොට ගෙන අමුතු අයුරේ ප්‍රතිචාරයක් ජනිත විය හැකි ය. මේ වූ කලී කලා රස වින්දනයේ ආරම්භය වේ. පෙර නුවූ විරූ ආස්වාදයක් ඔහු තුළ ජනිත වේ. මෙය කලා රස යයි හඳුන්වනු ලබයි.
නරඹන්නා තුළ එය අත්පත් කර ගැනීමට තෘෂ්ණාවක් ජනිත නො වේ. ඔහුට වුවමනා කරන්නේ එය බැලීමට පමණකි. බැලීමෙන් ඔහු තෘප්තියක් ලබයි. මීට කලා රස වින්දනයයි කියනු ලැබේ.
තූර්ය වාදනයක් හෝ ගී ගායනයක් ගැන සිතා බලමු. එයින් අපේ චිත්ත චෛතසිකයන්ට කවර ප්‍රතිචාරයක් ඇති වේ ද? එය අසන විට අපේ අභ්‍යන්තරයෙහි අපූරු හැඟීම් ජනිත වේ ද? පෙර නුවූ විරූ ආස්වාදයක් ඇති වේ ද? එසේ නො වේ නම් ප්‍රතිකූල හැඟීම් ජනිත වේ ද? එම අවස්ථාවෙහි අපි කන් අගුල් දමමු ද? අප තුළ පෙර නුවූ විරූ හැඟීම් ජනිත වේද? ඒවා අනුකූල ද ප්‍රතිකූල ද? ඒවායින් අප චලනය වී අප තුළ අමුතු චෛතසික ජනිත වේ ද? අපි ඒවා අප තුළ රඳා පවත් වන්ට කැමති ද? එසේ නැතහොත් ඒවා අපේ අභ්‍යන්තරයෙන් පහ කරන්ට අපට සිත් වේ ද?
ඒ අමුතු චෛතසික අප ළ‍්‍තබා ගෙන, කිසියම් වටිනා වස්තු සම්භාරයක් මෙන් අප ඒවා වරින් වර අසන්ට කැමති ද? අපේ අන්තරාත්මයෙහි කිසියම් විපර්යාසයක් සිදු වී අපි ඒවා අප ළඟ තබා ගන්න කැමති ද? අපි ඒවා සිහිපත් කරමින් කීප වරක් අසමු ද? ඒ හැම වරක් ම එහි අමුතු බවක් අපට දැනේ ද?
කලාවේ අන්තර්ගත ස්වභාවය මෙයයි හඟිමි. හැම වර ම අලුත් වී හැම වර ම අපේ සිත් තුළ පෙර නුවූ විරූ ආස්වාදයක් ඇති කරයි ද? එය වූ කලි කලාවෙන් ලැබෙන ආස්වාදයයි. එම ආස්වාදයෙන් සිත් සතන් පිබිදෙනු විනා සිත් සතන් අවුල් නො වේ. සිත් සතන් පිබිදීමෙන් එම ආස්වාදය අනන්‍ය සාධාරණ වින්දනයක් බවට පත් වේ.
අවසාන වසයෙන් කිව යුත්තේ කලාවයන වචනය එම අයුරු පුරාතන සිංහල සාහිත්‍යයෙහි නො යෙදන බව. එය ඉංග්‍රීසි art යන්නට යොදා ගන්නා ලද්දකි. එබැවින් සිංහල භාෂා ව්‍යවහාරයෙහි එලෙස ම එය යොදා ගත නො හැකි බව කිව යුතු ය. ඉංග්‍රීසියෙන් art යනුවෙන් නොයෙක් කලා මාධ්‍යයන් හඳුන්වනු ලබයි. අප විසින් එය කලාවයයි පරිවර්තනය කොට ව්‍යවහාරයෙහි යෙදීම සම්මත භාෂා ව්‍යවහාරයට පටහැනි බව සිහි කටයුතු ය. art කියා දෙයක් නැති බව සඳහන් කළමනා ය. ඉංග්‍රීසියෙන් art යන්නෙහි විවිධ අර්ථ ඇත. එය හැකියාවයන්නට එක්තරා ප්‍රමාණයෙන් ආසන්න ය. ඉංග්‍රීසියෙන් art යැයි කියනු ලබන්නේ පළල් තේරුමෙන් නොයෙකුත් ක්‍රියාවලට ය. He knows the art of swimming or the art of driving, cycling. සිංහල ව්‍යවහාරය ඊට හාත්පසින් වෙනස් බව සැලකිය යුතු ය.
වර්තමාන සිංහල ව්‍යවහාරයෙහි කලාවවශයෙන් හඳුන්වනු ලබන්නේ මනුෂ්‍යයා තුළ රස දනවන, ස්වාභාවික හෝ නිර්මාණ කරන ලද වස්තුවකට ය. රසයයි කියනු ලබන්නේ මනුෂ්‍යයාගේ චිත්ත චෛතසිකයන් පුබුදුවන කිසියම් නිර්මානයකි. කිසියම් දුර්ලභ චෛතසිකයක් මනුෂ්‍යයාගේ අන්තරාත්මයෙහි දනවන, ස්වාභාවික හෝ නිර්මිත වස්තුවකට එනම් දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය නිර්මාණයකි. මීට කලා කෘතිය යනුවෙන් ද ව්‍යවහාර කරති. කලාත්මක නිර්මාණයක්, කලාත්මක දර්ශනයක්, කලාත්මක ගීතයක් යනාදී වසයෙනි. මෙහි මුල දී කියන ලද පරිදි, එම නිර්මාණයෙන් මනුෂ්‍යයා තුළ පෙර නුවූ විරූ, අපූර්ව වින්දනයක් ජනිත කරවයි.
කලාව ජීවිත විවරණයකි
කලාවයන වචනයෙන් කෙබන්දක් කියවේ ද කියා අප විසින් විවරණය කිරීමට ඉහත වෑයම් කොට ඇත්තේ ය. එම වචනයේ ගැබ් වී ඇති විවිධ අරුත් අපි විභාග කෙළෙමු.
කලාව ජීවිත විවරණයකියන්න නොයෙක් විට ප්‍රකාශ කරනු ලැබේ. කලාව ජීවිතය කෙරෙහි කවර ආකාරයෙන් බල පායි ද කියා මෙහි දී පහදා දීමට අපි වෑයම් කරමු.
මෙහි දී කලාවකියන විට අප අදහස් කරන්නේ කුමක් දැයි පළමුවෙන් පැහැදිලි ව කිව යුතු ය. මෙහි දී කලාවයයි හඳුන් වන්නේ කලාකෘතියක් යයි හැඟේ. එනම් විශේෂයෙන් නිර්මාණාත්මක කෘති විය යුතු ය; එනම් කාව්‍ය නිර්මාණ, නවකථා ආදියයි. පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය හෝ එම ගණයට අයිති වෙනත් නිර්මාණ මෙහි දී විග්‍රහ කොට බැලිය යුතු ය.
කලාව ජීවිත විවරණයක් යයි කී විට මගේ සිතට පැන නගින්නේ පළමුවෙන් ම ගද්‍ය කාව්‍යයයි හැඳින්විය හැකි නවකථාවයි. පද්‍ය කාව්‍යයෙහි ඊට සමාන ලක්ෂණ තිබේ දැයි සිතා බැලීම වටී. නවකථාව ජීවිතයේ පෙත්තක් ලෙස ඇතැම් යුරෝපීය (ඉංග්‍රීසි) විචාරකයින් හඳුන්වා දී ඇත (a slice of life).
පළමුවෙන් මේ කියමන විග්‍රහ කොට බලමු. නව කථාව ජීවිතය ආශ්‍රයෙන් රචනා කරන ලද්දක් බව අපි දනිමු. එය සැබෑ ජීවිතයට ආසන්න බවත් අපි දනිමු. එනම් නවකථා පාඨකයෝ නවකථාවක් කියවන විට මේ අසවලා විය යුතුයි යනාදී වසයෙන් එම කථා විග්‍රහ කරති. එසේ නැතහොත් මේ අසවල් සිදුවීම ය යනාදී වශයෙන් සිදු වු දේ හඳුනා ගනිති. එසේ වූ විට නවකථාව කල්පිතයක් වසයෙන් සැලකීම වැරදියි.
මෙහි දී නවකථා (ඉංග්‍රීසියෙන් fiction කියා හඳුන් වනු ලබන නිර්මාණ) කෙබන්දක් වෙතත් ජීවිතයට ඉතා ආසන්න බව කවුරුත් පිළිගනිති. එහෙත් එය ජීවිතයෙන් ම උපුටා ගත්තක් නො වන බව කිවමනා ය. එය වූ කලි සැබෑ පුවතක්, සැබෑ චරිත ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක් බව සැලකිය යුතු ය. නො එසේ නම් එය ඉතිහාසයක් වනු ඇත.
මෙසේ තර්ක කර බලන විට නවකථාව ජීවිතයටත් කල්පිතයටත් අතර සිදු වූවක් හෝ සිදු විය හැක්කක් යයි සැලකිය හැකි ද? එය සත්‍යය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක් යයි කිව හොත් එය සත්‍යයක් නො වේ; කල්පිතයක් ද නො වන නිසා ය.
මේ අයුරින් නොයෙක් අංශවලින් විමසා බලන විට අපට කිව හැක්කේ නවකථාව සත්‍ය සිදුවීම් හා සත්‍ය චරිත ආශ්‍රයෙන් කරන ලද නිර්මාණයක් යයි තීරණය කළ හැකි ය. එය සත්‍යයට හෝ ජීවිතයට නැඹුරු වන්නේ වක්‍ර ලෙස ය.
මෙවැනි තර්ක විතර්කවල අනුසාරයෙන් සිතන විට අපට කිව හැක්කේ මඩොල්දූව නම් නවකථාව සැබෑ ජීවිතය පිළිබඳ විවරණයක් බව ය. එනම්, සැබෑ සිදුවීම්, සැබෑ පරිසරයක්, සැබෑ පුද්ගලයන් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද කල්පිතයක් බව ය. එහෙත් එය කියවන පාඨකයා රසවත්වන ලෙස එම කථාව වර්ණනා කර ඇත. එය සම්පූර්ණයෙන් සත්‍යයක් නො වන බව පාඨකයා දනී. එහි වර්ණනා කරන ලද හැම සිද්ධියක් ම සිදු වූවක් නො වන බව ද ඔහු දනී. එහෙත් එම කථාවේ වර්ණනා කොට ඇති පරිසරය (background) ලංකාවේ දකුණු පළාතේ මුහුදු බඩ ගම්මානයක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක් බව ඔහු දනී. එහි වර්ණනා කර ඇති පුද්ගලයෝ ද සැබෑ පුද්ගලයන් ආශ්‍රයෙන් නිර්මිත වුවන් බව ඔහු දනී. සැබෑ පුද්ගලයන් නො වෙතත් සැබෑ පුද්ලයන් සේ පෙනෙන පුද්ගලයන් ය.
මෙකී නවකථාව කියවන පාඨකයන් දෙස අපි බලමු. ඔවුහු එම කථාව මදක් දුරට කියවන විට එහි නිමග්න වෙති. ඔහුගේ මනසෙහි එම පරිසරය මැවෙන අතර එහි වර්ණිත පුද්ගලයන් හා සිදුවීම් ඔහුගේ මනස තුළට පිවිසේ. තාවකාලික වසයෙන් එම සිදුවීම් හා පුද්ලයන් ඔහුගේ මනසෙහි ජීවමාන ස්වරූපයෙන් තැන්පත් වන බව ඔහුට දැනේ. කල් යාමේ දී මඩොල්දූවනම් නවකථාව ඔහුගේ කාල්පනික ආත්මභාවයේ කොටසක් බවට පත් වේ.
වෙන නවකථා සම්බන්ධයෙන් ද එවැනි ආශ්චර්යමත් අයුරින් එහි වර්ණිත සිදුවීම් හා පුද්ගලයෝ ඔහුගේ අන්තරාත්මයේ කොටසක් බවට පත්වෙති. නො දැනුවත්ව මෙන් ඔහු එම චරිතයන් තම ජීවිතයෙහි අනුකරණය කරන්නට පටන් ගනු ඇත. මේ අයුරින් මඩොල්දූවවර්ණිත චරිත ඔහුගේ අන්තරාත්මයේ තැන් පත් වනු ඇත. ඔහුගේ නෑදෑ මිත්‍රයන් මෙන් ඔහුගේ කාල්පනික ජීවිතයේ කොටස් බවට පත් වේ. එනම් කල්පිතය සත්‍යය බවට පත් වේ.
මෙහි දී ගම් පෙරළියනො වෙතත් (එනම් වෙන නවකථාවක් කියවන විට හා කියවීමෙන් පසු) එම නවකථාවේ වර්ණිත පුද්ගලයන් හා ඔවුන්ගේ කෙරුම් කියුම් පාඨකයාගේ චෛතසිකයට පිවිසී එහි තැන්පත් වන්නා සේ කෙනෙකුට දැනෙන්ට පුළුවන. සමහර නවකථාවල වර්ණිත ඔහුගේ අන්තරාත්මයට පිවිසී එහි තැන්පත් වන්නා සේ පෙනේ. එනම්, එම චරිත විසින් කරන කියන දේ ආදිය පාඨකයාගේ අන්තරාත්මයට පිවිස (ඔහුගේ ස්මෘතියෙහි තැන්පත් වී) ඔහු කර කියන දේවල මෙන් ඔහුගේ මුළු ජීවිතයේ චර්යා ධර්ම හැඩ ගැස්වීමෙහි සමත් වන බව අපට පෙනේ.
මෙසේ වන්නේ නවකථාව සත්‍යයටත් මිථ්‍යාවටත් අතර තිබෙන්නක් බැවින් එය පාඨකයාගේ අන්තරාත්මයට පිවිස ඔහුගේ සිතුම් පැතුම්, චර්යා ධර්ම යනා දී සියල්ලක් ම හැඩ ගැස්වීමෙහි සමත් බලවේගයක් බවට පත් වේ.
එහි ආභාසයෙන් පාඨකයා යහපත් කෙනෙකු බවට පත් වන්නට පුළුවන්, නැතහොත් දුෂ්ට කෙනෙකු බවට පරිවර්තනය වන්ට පුළුවනි. ඔහු තුළ චරිතයක් රෝපණය කිරීමේ සමත් බලවේගයක් වන අතර අධර්මිෂ්ටයෙකු බවට පත් කරන්ට ද පුළුවන.
මේ ආදී වසයෙන් කෙනෙකු තුළ සදාචාරය රෝපණය කිරීම හෝ කෙනෙකු තුළ පාපී චේතනා රෝපණය කිරීම හෝ එම කල්පිත කෘතියෙන් සිදු විය හැකි බව වටහා ගත මනා ය. එවැනි නවකථා කල්පිත වන අතර සැබෑවක් යයි හැඟීමක් පාඨකයා තුළ නැංවිය හැකි බැවිනි.
ජීවිතයේ සැබෑ තත්ත්වය විග්‍රහ නො කරන හුදු ත්‍රාස ජනක නවකථාවලින් නියම ජීවිත විවරණයක් සිදු නො වන බව කිව යුතු ය. තත්වානුකූල ජීවිත විවරණයක් ඉදිරිපත් වන්නේ ඉහළ මට්ටමේ නවකථාවලින් ය. එනම් ප්‍රසිද්ධ ලේඛකයන් විසින් රචනා කරන කෘතිවලින් ය. ඒවායේ ශ්‍රේෂ්ඨ පරමාර්ථවලින් පෙළඹෙන චරිත නිරූපණය වේ. එවැනි නවකථාවලින් ශ්‍රේෂ්ඨ පුද්ලයන් හඳුනා ගත හැකි ය. ඔවුහු අපේ සදාතන මිත්‍රයෝ වෙති. ‍ඔවුන්‍ෙග් යාම් ඊම් ඔවුන් අගය කරන දේ ඔවුන්ගේ චර්යාධර්ම පාඨකයන්ගේ සිත් සතන්, ඔවුන්ගේ ආකල්ප ආදිය කෙරෙහි බලපාන්ට පිළිවන.
කලාව ජීවිත විවරණයක් යයි අප විසින් විග්‍රහ කොට දක්වන ලද්දේ මේ අර්ථයෙන් බව ස හන් කරනු කැමැත්තෙමි.
ස්වභාව සෞන්දර්යය හා කලාව
ස්වභාව සෞන්දර්යය යනුවෙන් කියවෙන්නේ ශරීරයේ හැම ඉන්ද්‍රියකට නො ව දෑසට පමණක් විෂය වන සෞන්දර්යය බව පළමුවෙන් කිව යුතු ය. එය දෑසට පමණක් විෂය වුව ද එයින් යම් කිසි ප්‍රතිචාරයක් කෙනෙකුගේ අභ්‍යන්තරයට ද දැනේ. එනම් එයින් යමෙකු තුළ කිසියම් ප්‍රීති සහගත චෛතසිකයක් ජනිත විය යුතු ය. එම වින්දනය කලින් කල ලබා ගත හොත් මැනවැයි එසේ නැතහොත් තමාට නිතර නිතර විඳිය හැකි නම් මැනවැයි යන සිතුවිල්ල ඔහු තුළ ජනිත කරවන්නක් විය යුතු ය.
මේ සිතුවිල්ල විග්‍රය කිරීමට පළමුවෙන් ඊට නිදර්ශන දැක් විය යුතු යයි සිතේ. ස්වාභාවික සෞන්දර්යය යනුවෙන් පොදුවේ කියවෙන්නේ ස්වාභාවික වස්තු සමූහයක් උනුන් අතර එක්තරා රටාවකට පිහිටුවා තිබීමෙන් කෙනෙකු තුළ ජනිත වන ආහ්ලාදයයයි හැඳින්විය හැකි ය. එම රටාවෙහි සමහරිත ලක්ෂණ තිබිය යුතු යයි කිව නො හැකි ය. එය වූ කලි තමා පෙර නුදුටු විරූ ස්වරූපයක් දරන්නක් විය හැකි ය. එය දෙස ඇස් යොමු කරන හැම දෙනා ම තුළ එක හා සමාන වින්දනයක් ජනිත වෙතියි කිව නො හැකි ය. එහෙත් හැම දෙනාගේ ම සිත් සතන් පිනවන අයුරේ ප්‍රතිචාරයක් හට ගනිතියි කිව හොත් එය සත්‍යයට සමීප යයි සිතිය හැකි ය.
එහෙත් එම ප්‍රතිචාරය ප්‍රමාණයෙන් එකින් එකට වෙනස් විය හැකි ය. එම ප්‍රතිචාරය ආහ්ලාදයයයි හඳුන් වනු ලැබේ. ඇතැම් අවස්ථාවල කෙනෙකු තුළ ප්‍රතිකූල හැඟීම් හට ගනී. එබඳු චෛතසිකයන් දනවන බාහිර විෂයන්ගෙන් කෙනෙක් ඈත් වන්ට සැරසේ; ඒවා අප්‍රසන්න බැවිනි. එහෙත් ප්‍රසන්න චෛතසිකයන් ජනිත කරවන අවස්ථා හා පරිසර ඔහු ළං කර ගන්ට කැමති ය. මක්නිසා ද කියතොත් එබඳු චෛතසිකයන් විඳීම ප්‍රසන්න අත් දැකීමක් වන බැවිනි. එබැවින් බොහෝ දෙනා මෙබඳු පරිසරයකින් වට කරන ලදු ව වෙසෙන්ට කැමතිය හ.
මෙබඳු අවස්ථාවක් ගැන සිතන විට අපට සිහි වන්නේ සුපුෂ්පිත ගස් කොළන්වලින් වට කරන ලද, කුරුල්ලන්ගේ මෘදු ස්වරයෙන් ගත සිත පිනවන, අවට හමන සිසිල් වාතයෙන් ගතට සිතට සැනසුමක් ගෙන දෙන පරිසරයකි.
මීට ස්වභාව සෞන්දර්ය යැයි කිව හැකි ය. නොහොත් ස්වභාව සෞන්දර්යයෙන් යුත්, ඇස් කන් නාසාදිය පිනවීමට සමත්, සිත සන්සුන් කරවන පරිසරයක් ලෙස හැඳින් විය හැකි ය.
මෙබඳු වටාපිටාවක් හා කලාව අතර සම්බන්ධය කුමක් දැයි සිතා බැලිය යුතු ය. කලාවවසයෙන් හඳුන් වනු ලබන්නේ සිත් සතන් පිනවීමේ සමත්, ශබ්දයෙන් (නාදයෙන්) හෝ දර්ශනයෙන් යුත්, බාහිර වස්තුවකට යයි කිව හැකි ය. මෙය වූ කලි, කෙනෙකු ගයන ගීයක් හෝ තූර්ය භාණ්ඩයකින් වයන තනුවක් විය හැකි ය. එසේ නැතහොත් කෙනෙකු අඳින චිත්‍රයක් විය හැකි ය. මේ ගීයේ අසන්නන්ගේ කන් පිනවන ස්වභාවයක් තිබිය යුත ය. චිත්‍රයේ ද නරඹන්නන් තුළ යම් කිසි අපූරු ආස්වාදයක් දනවන ස්වභායක් තිබිය යුතු බව කිව හැකි ය.
ගීයේ කවර ස්වරූපයක් තිබිය යුතු දැයි කිව නො හැකි ය. මක් නිසා ද කියතොත් හැම ගීය ම පෙර නුවූ විරූ ස්වරූපයක් දරන බැවිනි. එය වූ කලි නිර්මාණාත්මක කලාකරැවා විසින් අමුතුවෙන් නිපදවන්නක් වන බැවිනි. කලා රස වින්දනයෙහි දී පෙර නුවු විරූ ස්වරූපයෙන් යුත් නිර්මාණයක් බිහි කළ යුතු බැවිනි. එය කලින් තිබිණැයි රසිකයාට සිතේ නම් නියම නිර්මාණයක් විය නො හැකි බැවිනි.
කලාත්මක නිර්මාණය සදාකාලික බව සිහි කළ යුතු ය. එය, ලෝකයෙහි තිබෙන අනන්‍යසමාන දෙයකි. එය ගීතයක් නම් වඩ වඩා අසන්ට වඩ වඩා අපූර්ව යයි හැ‍ඟේ. එයින් ලැබෙන ප්‍රීතිය ආනන්දයයි නම් කරනු ලබන්නේ මේ හෙයිනැයි කිව යුතු ය.
ලෝකයෙහි ව්‍යාජ කලා නිර්මාණ තිබිය හැකි ය. එබඳු නිර්මාණවලින් ලැබෙන වින්දනය තාවකාලික බව පෙනේ. කල් යාමේ දී අපට ඒවා එපා වේ. එහෙත් සැබෑ කලා නිර්මාණ දුක සැප දෙකෙහි ම අපට පිහිට වන මිත්‍රයන් සේ ය. දුකෙහි දී සැපතෙහි දී අප අත් නො හරින මිත්‍රයන් සේ ය.
මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම පැවැතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නො පාවි තී
කලා ආස්වාදය හා ජීවිතය
කලා රස ආස්වාදනය කෙනෙකුගේ ජීවිතය පෝෂණය කරන්නක් යයි කිව යුතු ය. ‍මෙහි අර්ථය කුමක් ද?
මනුෂ්‍යයන් වසයෙන් අප හැම දෙනා ම ශරීරයකින් හා මනසකින් යුක්ත වූවෝ වෙමු. සත්ව වර්ගයාට සිරුරක් හා මනසක් නැද්ද යනු අප සිතට වහා පැන නගින්නට පුළුවන් ප්‍රශ්නයකි.
මනුෂ්‍යයා යාම් ඊම්, කෑම් බීම්, රුචි අරුචිකම් පැවසීම්, කතා කිරීම්, සිනාසීම්, ඇඬීම්, ඇවිදීම්, දිවීම් යන ආදි ක්‍රියාවල යෙදේ. සත්වයා ද මේ සියලු ක්‍රියාවල නියුක්ත වේ. එසේ නම් මනුෂ්‍යයා හා සත්වයා අතර වෙනසක් නැද්ද?
මෙවැනි තතු විග්‍රහ කරන විට, සත්වයා සිනාසේ ද? අඬයි ද? යන ආදී කරුණු ගැන සැක සිතේ. සත්වයා සිනාසේ ද? අඬයි ද? සත්වයා සිනාසෙන බවක් අපි නො දනිමු. එහෙත් ඔහු අඬන බව අපි දනිමු. ගෙවල්වල ඇති කරන සත්තු බඩගිනි දැනෙන විට අඬති. මේ වූ කලී මනුෂ්‍යයා අඬන ඇඬීම් නො වන බව ද අපට ප්‍රත්‍යක්ෂ වේ. බඩගිනි දැනුණු විට සත්වයා අඬයි. එහෙත් මෙසේ අඬන්නේ මනුෂ්‍යයා විසින් ගෙවල්වල ඇති කරන සතුන් පමණක් නො වේ ද? කැලෑවල වෙසෙන සත්තු බඩගිනි දැනුණු විට අඬත් ද? එසේ නැතිව බඩගිනි දැනුණු විට දඩයම් කරමින් වෙනත් සතුන් මරා උන්ගේ මාංශ අනුභව කරත් ද?
මේ සියල්ල මේ ආකාර වන අතර එසේ අත් දැකීම් හේතු කොට ගෙන මේ ගැන මා තුළ එක් සැකයක් උපදී. අපේ ගෙදර අප විසින් ඇති කරන ලද ‍බල්ලෙක් ඇත. මා විසින් එක්තරා තූර්ය භාණ්ඩයක් වාදනය කරන්නට පටන් ගත් විට ඌ අමුතු හඬකින් හඬලන්නට පටන් ගනී. උගේ හඬ මා වාදනය කරන තූර්ය භාණ්ඩයේ හඬට වෙනස් ය. ඌ හඬ ලන්නේ උඩු බුරලන්නේ වෙනස් ස්වරයකින් ය. මෙය ඌ සිතා මතා නො ව ඉබේම උගේ කටින් පිටවන හඬකින් ය. උගේ අභ්‍යන්තරයෙන් ය. තූර්ය වාදන හඬට උගේ සිරුරේ කිසියම් වින්දනයක් හෝ කැලඹීමක් හට ගෙන ඌ එය ප්‍රකාශ කරන බවක් මට පෙනුණි. ඌ නිකුත් කරන හඬ මගේ වාදනයේ හඬට වෙනස් වුවත් ඌ එය කරන්නේ සහජයෙන් යයි මම නිගමනය කෙළෙමි.
මේ අත්දැකීම් අනුසාරයෙන් සිතන විට ඒ සතා තුළ සංගිත නාදයෙන් ඇති වූ ප්‍රතිචාරය අසා, එම සතාගේ අභ්‍යන්තරයෙහි හට ගත් වින්දනය වූ කලි සිවුපාවුන් තුළ වුව ද සංගීතයෙන්, යාන්ත්‍රික වසයෙන් වුව ද යම් කිසි වින්දනයක් ජනිත වන බව නිගමනය කළ නො හැකි ද?
මීට සංගීත රසාස්වාදය යයි කීම අතිශයෝක්තියක් වුව ද සංගීතයෙන් සතුන් තුළ වුව ද එක්තරා ප්‍රතිචාරයක් ජනිත වන බව අපට පෙනේ. එහෙත් මනුෂ්‍ය ජීවිතය කෙරෙහි කලා රසාස්වාදයෙන් හට ගන්නා ප්‍රතිඵල මීට වෙනස් බව සැලකුව මනා ය.
කුමක් ද මේ වෙනස? අප දන්නා තතුවල ආශ්‍ර‍ෙයන් මෙය විග්‍රහ කොට බැලුව හොත් අපට තරමක් දුරට කලා රසාස්වාදය හා මනුෂ්‍ය ජීවිතය අතර සම්බන්ධය එක්තරා ප්‍රමාණයකට අව‍බෝධ කර ගත හැකැයි සිතේ.
කලා රසාස්වාදය වූ කලි මනුෂ්‍යයාට පමණක් විෂය වන්නක් බව අප විසින් මුලදී ම පිළිගත යුත්තක් යැයි සිතේ. ඇතැම් සතුන්ට යම් යම් අවස්ථාවල කලාවෙන් එක්තරා ශාරීරික ප්‍රතිචාරයක් ලැබෙන බව මා විසින් දක්වන ලද නිදර්ශනයෙන් පෙනී යා යුතු ය. එ හෙත් මනුෂ්‍යයා තුළ හට ගන්නා ප්‍රතිචාරය ඔහුගේ අභ්‍යන්තරයට හෙවත් අන්තරාත්මයට විෂය වන්නක් බව වටහා ගත යුතු ය.
සත්වයා වූ කලි, ගහක් ගලක් මෙන් නො ව ප්‍රාණයෙන් යුක්ත ය. ප්‍රාණයයි කියනු ලබන්නේ ඔහුට කන්ඩ බොන්ඩ නිදන්ට වුවමනා ය යන අර්ථයෙන් ය. ඔහුට තම ස්වාමියා හඳුනා ගන්ට පුළුවන. ඔහුට කෑම බීමආදිය දෙන්නේ ඔහුගේ ස්වාමියා ය. කැලෑවේ වෙසෙන සත්ව වර්ගයා තමන්ගේ අහර සපයා ගනී. සමහර සත්වයෝ වෙන සත්ව වර්ගයා මරා අනුභව කරති. මනුෂ්‍යයා කරන සියලු දේ සත්වයා එක්තරා ප්‍රමාණයකට කරයි. එහෙත් ඔහුට, මනුෂ්‍යාට මෙන් කතා කිරීමේ හැකියාව නැත. තම සිරුරේ අභ්‍යන්තරයෙන් ඔහුට වුවමනා කරන දේ දැක් වූ විට, එය සපයා ගන්ට ඔහු දනී. එහෙත් සෞන්දර්යය යනු කුමක් ද ඔහු නො දනී. කඩදාසියක අඳින ලද ඉතා වර්ණවත් චිත්‍රයක් වුවත් ඔහු ඉදිරියෙහි තබතොත් ඔහු එය සිඹ බලා, කෑ හැකි දෙයක් නො වන බව වටහා ගෙන එය පාගා දමයි. ගීතයක් වුවත් එසේ ම ය. එය කවර ආකාරයෙන් සත්වයා තුළ ප්‍රතිචාරයක් ඇති කරයි ද අප නො දන්නා අතර, ඔහු තුළ රස වින්දනයක් ඇති නො කරන බව කිව හැකි ය. එම ගීතය ඔහු තුළ කිසියම් ප්‍රතිචාරයක් ඇති කරන බව ඔහුගේ හැසිරීමෙන් අපට කිව හැකි ය. එහෙත් එය රස වින්දනයක් ලෙස හැඳින්විය නො හැකි ය.
කිසියම් ගීතයක් ඇසීමෙන් ඔහු ඇතැම් විට චංචල වේ. එහෙත් ඔහු තුළ එම ගීත ඇසීමෙන් කිසියම් ප්‍රීතියක් හෝ සන්සුන් බවක් ජනිත වෙතියි සිතිය නො හැකි ය. එම ගීතය කෙරෙහි ඔහුගේ සිත වසඟ වීමක් හෝ එම ගීතය වරින් වර ඇසීමට ඔහු තුළ අභිලාෂයක් හෝ හට ගන්නා බවට සාක්ෂියක් අපට නො පෙනේ. එම ගීතය නැවත වරක් හෝ කීප වරක් ඇසීමට එම සත්වයා කැමැත්තක් නො දක්වයි. ඊට ජුගුප්සාව වැනි ප්‍රතිචාරයක් වුව ද නො දක්වයි.
මනුෂ්‍යයා මීට වෙනස් බව දත යුතුයි. ඔහු ගීතයක් අසන විට එයින් ප්‍රීතියක් විඳී. එය නැවත නැවත ඇසීමට ඔහු කැමති වේ. නො එසේ නම් ඊට ප්‍රතිකූල හැඟීමක් දක්වයි. චිත්‍රයක් වුව ද මෙසේ ය. කලා රස වින්දනයයි කියන්නේ මීට ය. ඔහු වරින් වරත් එම ගීතය ඇසීමට කැමැත්තක් දක්වයි. එයින් වින්දනයක් ලබයි. චිත්‍රයක් බැලීමත් එසේ ම ය. සත්වයා හා මනුෂ්‍යයා අතර වෙනස මෙයයි.
ඔහු තුළ ඇති වින්දනයට අපි රසයයි කියමු. ඊට කලා රස වින්දනයයි කිව හැකි ය. එය වරින් වර ඇසීමෙන් (චිත්‍රය නම් නොයෙක් වර බැලීමෙන්) ඔහු ලෝකයෙහි නො ලැබෙන අයුරේ වින්දනයක් ලබයි. එයින් ඔහුගේ මුළු ජීවිතය කෙරෙහි වින්දනයක් ලබයි. මීට ආස්වාද කලා රසාස්වාද යයි කියනු ලැබේ.
රසාස්වාදය යන විශේෂ වචනය මීට යොදන්නේ එය අනන්‍ය සාධාරණ වින්දනයක් වන බැවිනි. එය ප්‍රීති සහගත වින්දනයක් වන්ටත් පුළුවනි ; දුකට සමාන වින්දනයක් වන්ටත් පුළුවන. නාට්‍යයක් බලන අතර හෝ ගායනයකට වාදනයකට කන් දෙන විට ඔහුගේ ඇසට කඳුළු උනයි. එහෙත් ඔහු දුකින් පෙළෙතියි කිව නො හැකි ය. ඔහු එම ආස්වාදය පුන පුනා විඳින්නට කැමති බැවින් මීට රසාස්වාදයයි කියනු ලැබේ. රංග භූමියෙහි දක්වන එක්තරා සිද්ධියක් නිසා ඔහුගේ දෑසට කඳුළු උනන්ට පුළුවන. එහෙත් ඔහු දුක් වෙතියි නිගමනය කළ නො හැකි ය. මක් නිසා ද කියතොත් ඔහු එම වින්දනයෙන් එක්තරා සතුටක් හෝ සැනසීමක් හෝ ලබන බැවිනි.
මෙබඳු අවස්ථාවල ඔහුගේ සිත කම්පා වෙතියි කිව හැකි ය. එය දුකක් ද නො වන අතර ප්‍රීතියක් ද නො වන බව වටහා ගත යුතුයි. එය අමුතු ම වර්ගයේ ආස්වාදයකි. ඊට කලා රසාස්වාදයයි කිව හැකි ය. තමන්ගේ සිත කම්පා වෙතත්, ඇසට කඳුළු උනතත් එම වින්දනය ලබන්ට ඔහු කැමති ය.
මෙම වින්දනයට කලා රසාස්වාදයයි කියනු ලැබේ. ඉංග්‍රීසියෙන් එය aesthetic emotion යයි හඳුන්වනු ලබයි. එය කනට ගොදුරු වන වාදනයකින් හෝ ගායනයකින් හෝ ඇසට යොමු වන දර්ශනයකින් උපදන්නකි.

——————-
ඉහත සඳහන් වන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයින් විසින් 1995 දී පමණ ලියන ලද එතුමාගේ අවසාන ලේඛන වශයෙන් සැලකිය හැකි, කෙටි ලිපි සංග්‍රහයකි. අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අංශය මගින් සංවිධානය කරනු ලැබූ, සමස්තලංකා සංගීත හා නාට්‍ය අවසාන තරඟ (1995/96) සමරු ප්‍රකාශනයේ, මෙම ලිපි පළ විය. සරච්චන්ද්‍රයින් ගිලන් ව පසු වූ ජීවිතයේ අවසාන කාලය තුළ, එතුමා සමග පෞද්ගලික ව සාකච්ඡා කරමින්, තර්ක කරමින් මෙම ලිපි සංස්කාරක විසින් ලියවා ගෙන ඇත. බස් වහර කතා වහරට සමීප වන්නේ ද විටෙක සුළු වශයෙන් සම්මත වහරට පටහැනි වන්නේ ද මේ නිසා ය. ජයන්ත අරවින්ද (සංස්කාරක, සංස්කෘති)